"සත්තුන්ට ආදරේ මිනිස්සු.." ❤️
සාමාන්‍යයෙන් මනුස්සයෙක් එක්ක කතාවක් පටන් ගන්නකොට, එයාගෙ ඇත්තම කරුණාව මනින්න මං පාවිච්චි කරන පුංචි මිම්මක් තියනවා. ඒ තමයි, සත්තු ගැන එයා හිතන්නේ කොහොමද කියලා බලන එක. ඒක හැම වෙලාවෙම, හැම කෙනෙක්ටම සාර්ථක ක්‍රමයක් නොවෙන්න පුලුවන්. ඒත් ගොඩක් වෙලාවට මං එහෙම කරනවා.
කාලෙකට කලින්, මං උසස්පෙළ කරන කාලේ මගෙන් කැමැත්ත අහමින් හිටපු පිරිමි ළමයෙක් හිටියා. දවසක් බස් එකේ කතාබහ කරමින් ආපු හවසක, මං එයාට පෙන්නුවා කඩපිලක හිටපු පූස් පැටව් කීපදෙනෙක්ව. එයාගෙ උත්තරේ උනේ "ආපෝ මං ඕ.කු.න්.ට කැමති නෑ" ඒ විතරක් නෙවෙයි එයා කකුලෙන් දුන්නු පාරකින් එයාලගෙ ගෙදර හිටිය පූසා මැ.රි.ලා ගිය හැටිත් කිසිම ගානක් නැතිව හරිම සැහැල්ලුවෙන්, කිසිම හැඟීමක් නැතිව කියලා හිනා උනා. ඒ වෙනකම් මට ඒ පිරිමි ළමයා ගැන විශේෂ කැමැත්තක්වත් අකමැත්තක්වත් තිබුණෙ නෑ. හැබැයි කොහොමහරි එදායින් පස්සෙ ආයිත් මං ඒ මනුස්සය එක්ක කතා කළෙත් නෑ.
ඊටපස්සෙ මං කැම්පස් ආවා. එතැනදි මුණ ගැහිච්ච මගේ ආදරේට දැන් අවුරුදු පහකටත් එහා. එයා සෑහෙන්න සත්තුන්ට ආදරේ කරන, කරුණාවන්ත මනුස්සයෙක්. කොයිතරම්, සමහරවිට දවසම බඩගින්නෙ හිටියත්, බලු පූස් කෙනෙක් ළඟපාත ඉන්නව දැක්කොත් එයා කවදාවත් එයාලට කෑම ටිකක් නොදී කන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි ලේන්නු, කුරුල්ලොන්ට පවා එයා ළඟට ආවොතින් කෑමට මොනවමහරි ලැබෙනවා. වැඩ කරන සයිට් වල එයා එනකම්ම බලන් ඉන්න බලු යාලුවන්ට හැමදාම බනිස්, බිස්කට් අරන් යන්න පර්ස් එකෙන් හැමදාම ගානක් වෙන් කරන් ඉන්න එයා ගැන මට තියෙන්නෙ අසීමිත ආදරයක්. 😘❤️
මං දන්නෙ නෑ සත්තුන්ට ආදරේ නැති හැම මනුස්සයම සංවේදී නැති මිනිස්සුද කියලා. එහෙම නැතිවත් ඇති. ඒත් මට හුඟක් තැන්වලදි දැනිල තියනවා, සත්තුන්ට ආදරේ හුඟක් මිනිස්සු ඇත්තටම කරුණාවන්ත මිනිස්සු කියලා !
ඉතිං ඔයත් දන්න එහෙම මිනිස්සු ඉන්නවා නම් පුංචි comment එකකින් එයාලට ආදරෙයි කියන් යමුද ?
By Happy Life

No comments:
Post a Comment