Thursday, May 21, 2020

දඬුවම් කරන්නේ නැතුව විනයගරුක දරුවෙක් හදන්නේ මෙහෙමයි (10+ Brilliant Strategies to Discipline Your Kid Without Punishment in 2020)


දෙමාපියන් දරුවන්ට දඬුවම් කිරීමට පෙළඹෙන්නේ ඇයි ?

හැම දෙමාපියෙක්ම කැමතියි තමන්ගේ දරුවා විනයගරුක දරුවෙක් වෙනවට. මේ බලාපොරොත්තුව බිඳ වැටෙනකොට දෙමාපියන්ට තරහක් ඇති වෙනවා. අන්තිමටම සිද්ද වෙන්නේ ඒක දඬුවමකින් කෙලවර වෙන එක තමයි. නමුත් අපි මතක තියා ගන්න ඕනේ කාරණය තමයි දඬුවම් කිරීම ගොඩක් පහසු වුනත් දඬුවමින් දරුවන්ව විනයගරුක මාර්ගයට ගන්න බැහැ කියන කාරණය. ඒක කොහෙත්ම ඵලදායී ක්‍රමයක් වෙන්නෙත් නැහැ.

ඵලදායී ක්‍රමයකින් දරුවන් යහ මගට ගැනීමට කාලය, දෙමාපියන්ගේ ඉවසීම ගොඩාක් අවශ්‍යයයි. ඒත් ප්‍රථිපලය බැලුවම ඒක අම්මලට තාත්තලට වගේම දරුවන්ටත් වඩාත්ම හොඳ ක්‍රමයක් වෙනවා. විවිධ ලෙඩ රෝග වලට විවිධ බෙහෙත් අවශ්‍යයි. ඒත් අපි පුරුදු වෙලා ඉන්නේ දරුවන්ගේ හැම ආකාරයකම වැරදි හැසිරීම් වලට දඬුවම කියන එකම බෙහෙත යොදා ගන්නයි.

විනය සහ දඬුවම යනු දෙකකි.

විනය

ඇමරිකානු මනෝවිද්‍යා සංගමයට (American Psychological Association) අනුව "විනයගරුක භාවය කියන සංකල්පය ගොඩ නැගෙන්නේ හොඳින් සිටින දරුවන් හොඳින් හැසිරෙනවා කියන මතයේ සිතටයි. ඒ වගේම එක එක වයසට අදාළ ධනාත්මක හැසිරීම් දරුවන්ට ඉගැන්වීම විනයේ අරමුණ වෙනවා. ඒ නිසාම විනය විසින් දරුවන්ට සන්සුන්ව සිටීමට, ප්‍රශ්න විසඳා ගැනීමට, තරහ පාලනය කර ගැනීමට, හැගීම් ස්වයං පාලනය කර ගැනීමට වගේම ඔවුනගෙන් බලාපොරොත්තු වෙන හැසිරීම කුමක්ද යන්නත් උගන්වනවා.

දඬුවම්


දඬුවම කියන සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ දරුවන්ට හොඳින් හැසිරෙන ආකාරය කියල දෙන්න නම් ඔවුන්ට නරක විදියට දැනෙන්න, රිදෙන්න, ලජ්ජාවට පත් වෙන්න වගේම හිංසනයට ලක් වෙන්නත් ඕනේ කියන කාරණය මත සිටයි. දඬුවම;

  • බලය සහ බිය තුලින් හැසිරීම පාලනය කරයි.
  • වැරදි හැසිරීම සැඟවීමට හෝ ඒ පිලිබඳ බොරු කියන්නට දරුවන්ට උගන්වයි.
  • ඍණාත්මක හැසිරීම ඉලක්ක කරයි
  • වැරදි හැසිරීමෙන් ඇතිවන නරක ප්‍රතිවිපාක වලින් ගැලවෙන්න උපක්‍රම උගන්වයි.
දඬුවම් හැමවිටම දඬුවම් කරන පාර්ශවය වගේම දඬුවම් ලබන පාර්ශවයද කෝපයට පත් කරනවා. අපි බලමු මේ ගැන තවත් විස්තර.

ඔබේ දරුවාට පහරක් ගහපු වෙලාවක් ගැන හිතන්නකෝ. ඒ ගැන හිතද්දී කොහොමද දැනෙන්නේ? මුලින්ම ඔබට දරුවාගේ හැසිරීම ගැන තරහක් ඇතිවෙන්න ඇති. ඊළඟට ඔබ ඔහුට දඬුවම් කරන්නට ඇති. ටික වෙලාවකින් මොකද වුනේ? ඔබට වරදකාරී හැගීමක්, දරුවා ගැන ලොකු දුකක් ඇති වුනා නේද? අන්තිමටම දරුවා ගැන හිතද්දී ඔබට මානසිකව දැඩි බලපෑමක් ඇති වුනා.

දැන් දරුවාගේ පැත්තෙන් හිතමු. දරුවාගේ වැරදි හැසිරීම සිදු වෙන්න ඇත්තේ සමහර වෙලාවට ඔබගේ අවධානය අවශ්‍ය වෙලා වෙන්නත් පුළුවනි. එතකොට අම්මගේ ආදරය ඉල්ලන දරුවෙක්ට පහර දුන්නම ඒ දරුවට ඇති වෙන මානසික බලපෑම කොහොම වේවිද?

ඔබ දරුවාට පහර දුන්නම මුලින්ම දරුවට වේදනාවක් දුකක් ඇති වෙන්න ඇති. ඊටපස්සේ තරහක් වගේම පස්සේ කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. අපි ආදරයෙන් හදන දරුවන්ව කලකිරීමට පත් කරන්න ඕනෙද? අපි දෙමාපියන් වශයෙන් කරන්න ඕනේ එයාලට සතුටුදායක ආරක්ෂක වටපිටාවක් ගොඩනගලා දෙන එකයි. අපි කරන්න ඕනේ දරුවන්ව විනයගරුක කිරීම මිසක් ඔවුන්ව කලකිරවීම නොවෙයි.

හරි. අපි දැන් මෙහෙම හිතමු. දරුවා මොකක් හරි වැරදි වැඩක් කරපු වෙලාවක ඔබ ගොඩාක් ඉවසීමෙන් කටයුතු කළා කියල අපි හිතමු.

මුලින්ම ඔබට ලොකු පීඩනයක් ඇති වෙන්න පුළුවන් ඔබේ තරහ, දරුවාට ප්‍රතික්‍රියා දැක්වීමට යොදා ගන්න බැරි වීම ගැන. ඒත් ටික වෙලාවක් යද්දී ඔබට ලොකු සැනසීමක් දැනේවි. ඔබ ගැනම සතුටු හිතේවි. වැදගත්ම කාරණය තමයි දරුවා දුකට පීඩාවට කලකිරීමට පත් නොවීම.

අනිත් අතට මේ ක්‍රමයෙන් දරුවාට අවස්තාවක් ලැබෙනවා එයා කරපු වරද ගැන හිතන්න. අම්මට, තාත්තට පුළුවන් ඒ වරද ගැන ආයෙත් පස්සේ දරුවත් එක්ක සාකච්ඡා කරන්න. විනය හදන්න දඬුවමට වඩා ඵලදායී ක්‍රම තියෙනවා නේද? අපි ඒවා විස්තරාත්මකව ඉදිරියේදී කතා කරමු.

ඔබ දරුවන්ගේ විනය හැදීමේදී දඬුවම් නොදිය යුත්තේ ඇයි?


දරුවන් විනයගරුක මාර්ගයට ගන්න අපි කවදාවත් දඬුවම් මත විශ්වාසය තියන්න හොඳ නැහැ. ඒකට හේතුව තමයි දරුවන්ගේ ජීවිතයට දඬුවම් වලින් කෙටි කාලීන වගේම දීගු කාලීන බලපෑම් සිදු වීම. දැන් ඒ ගැන කතා කරමු.

දඬුවම් වල කෙටිකාලීන අයහපත් ප්‍රතිපල
දඬුවම් දරුවන්ව කෝප ගන්වනවා



ඔබ දරුවාට දඬුවම් කරන්න පෙළඹෙන හැම වෙලාවකම ඒකෙන් දරුවා කෝප ගැන්වෙනවා. ඔබේ ළමා කාලය ගැන හිතන්නකෝ.

පුංචි කාලේ ඔබට කව්රුහරි දඬුවම් කලාම මතකද ඒ හැගීම? දඬුවම් කරපු කෙනා එක්ක ගොඩක් වෙලා යනකල් තරහින් හිටියා නේද? ඒ වෙලාවට පොඩ්ඩක්වත් හිතුනද තමන්ට ඒ දඬුවම ලැබුනේ තමනුත් වරදක් කරපු නිසා කියල? නැහැ නේද? එකට හේතුව තමයි දඬුවම් මගින් වරද ගැන ආයෙත් හිතලා බලන්න ඒ වැරැද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් දෙන්නේ නැති වීම.

දරුවනුත් ඔබට කෑගසන්නට ඉගෙන ගනීවි.



දඬුවම් කිසිවිටෙකත් ඉවසීම වගේ මෘදු ගුණාංග දරුවන්ට උගන්වන්නේ නෑ. ඔබ හැමවෙලාවෙම දරුවන්ගේ හැසිරීම හදන්න කියලා ඔවුන්ට දඬුවම් කරන්න ගියොත් වෙන්නේ ප්‍රශ්න වලින් ගැලවෙන්න තියෙන හොඳම මාර්ගය තමයි තරහ ගැනීම කියලා දරුවනුත් ඉගෙන ගන්න එක. ඔහොම දිගින් දිගටම යනකොට ඔබට තරහ යනකොට දරුවනුත් ඔබට කෑ ගහන්නට පුරුදු වේවි.

බලාපොරොත්තු කඩ වෙන කොට ඒවාට ප්‍රතිචාර දක්වන විදිය කෝපය කියල දරුවා අර්ථකථනය කර ගැනීම නිසා තමයි එහෙම වෙන්නේ.

ආතතිකාරී දරුවන්



දඬුවම් වලින් බිහිවන්නේ ආතතිකාරී දරුවන්. ඔබ දරුවන්ගේ හැම වැරද්දකටම දඬුවම් දෙන මව්පියන් නම් ඒ ගැන වහාම සිතා බැලීම අවශ්‍යමයි. ඒ නිතර දඬුවම් ලබන දරුවන්ට මානසික ආතතියට ලක්වීමට ලොකු හැකියාවක් තියෙන නිසයි.

දරුවන් වැරදි ක්‍රියාවන් වල නිරත වෙනවා.ඔවුන් ලෝකය ගැන ඉගෙන ගන්නා නිසා ඒක ඔවුන්ගේ වයසට සාමාන්‍යයි. දෙමාපියන් විදියට අපි කරන්න ඕනේ දරුවට වැරැද්ද අඳුරගන්න උදව් කරලා ඔවුන්ව යගමගට ගැනීමයි.

කලකිරුණු දරුවන්



දෙමාපියභාවය කියන්නේ දරුවන්ව සුවපහසුවෙන් තැබීමයි. ඔවුන්ව අසරණ කිරීම නොවේ. බොහෝ වෙලාවට දරුවන් නරක ලෙස හැසිරෙන්නේ ඔබේ අවධානය ගන්නයි. දරුවන්ට මව්පියන්ගේ අවධානය, වෙලාව සහ කාලය අවශ්‍යමයි.

දරුවන් ඔබේ අවධානය, කාලය, ආදරය බලාපොරොත්තු වෙන විට ඔබ ඔවුන්ට දඬුවම් කළහොත් ඔවුන් කලකිරීමට පත් වීම පුදුමයක් නෙවෙයි නේද?

ඒ නිසා දෙමාපියන් විදියට දරුවන්ගේ වුවමනා සහ හැගීම් තේරුම් ගැනීම අවශ්‍යයයි. අපිට අපේ දරුවන්ව යහමගට ගැනීමට හැකි වන්නේ එවිටයි.

අසතුටින් සිටින දරුවන්


කොයිතරම් ආදරය හිතේ හංගාගෙන හිටියත් ඔබ දරුවන්ට නිතර දඬුවම් කරන කෙනෙක් නම් දරුවන්ට එම ආදරයෙන් පලක් නැහැ . ඔවුන් දැඩි ලෙස ඔබේ සෙනෙහස බලාපොරොත්තු වෙනවා වගේම ඒක ඔවුන්ට දැනෙන්නේ නැති වුනාම දුකට පත්වෙනවා. ඒ වගේම සතුටු වීම පවා ප්‍රතික්ෂේප කරනවා.

දරුවන් රැක බලා ගැනීමේදී දරුවන්ව සතුටින් තැබීමත් ගොඩක් වැදගත් වෙනවා. ළමා කාලයේ ලබන සතුට වැඩිහිටි කාලයට පවා හේතු වෙනවා. ඒ නිසාම දරුවන්ව සුව පහසුව හා සතුටින් තැබීම අපේ වගකීමක් වගේම යුතුකමක්.

දෙමව්පියන් හා දරුවන් අතර ඇති සම්බන්ධතාවය පලුදු වීම



ඔබේ දරුවන්ගේ සම්පූර්ණම ලෝකය වෙන්නේ ඔබයි. ඒ නිසා ඔවුන් ඔබව දැඩිව විශ්වාස කරනවා. ඔවුන්ගේ හැමදේම ඔබත් සමග බෙදා හදා ගන්න පෙළඹෙනවා ඒත් දඬුවම් කියන්නේ මේ හැම සම්බන්ධතාවයක්ම බිඳලා දාන්න හේතු වෙන දෙයක්.

දරුවා හා දෙමව්පියන් අතර තියෙන බැඳීම පලුදු වීම කියන්නේ ගොඩක් බරපතල කාරණයක්. ඒ නිසාම කුමන හෝ තත්ත්වයක් යටතේ වුවත් එය ඇති වීම කෙසේ හෝ වලක්වා ගත යුතුම වෙනවා.

වර්තමානය වන විට දරුවන් රැක බලා ගැනීමේදී අවශ්‍යම දෙයක් තමයි මේ බැඳීම. ඒකට හේතුව තමයි දරුවන්ගේ ඕනෑම ප්‍රශ්නයක් ඔවුන් සමග කතා බහ කරලා විසඳන්න පුළුවන් වෙන එකත්, ඒ විදියට සම්බන්දතාවය පලුදු වුනොත් දරුවන් දෙමාපියන්ගෙන් ඈත් වීම නිසා ඔවුන් බරපතල අනතුරකට වුනත් මුහුණ පාන්න පුළුවන් වීමත් .

මෙම සම්බන්ධතාවය එක වරක් බිඳුනොත් ආයෙත් ඇති කරන්නත් අපහසු නිසා දරුවන් යහමගට ගන්න දරුවන්ට දඬුවම් කරද්දී මේ අනතුරු ගැන සැලකිලිමත් වීම ගොඩක් වැදගත්.

දඬුවම්වල දිගුකාලීන අයහපත් ප්‍රතිපල


දෙමාපියන්ව නොසලකා හැරීම.


මෙයත් ළමා කාලයේදී සිදු විය හැකි බරපතල තත්ත්වයක්. දරුවන් නිතර නිතර දඬුවම් වලට ලක් වනවිට වගේම දෙමාපියන් දරුවන්ගේ අවශ්‍යතා, හැගීම් නොසලකා හරින විට දරුවන් දෙමාපියන්ව වුවමනාවෙන්ම නොසලකා හරින්න පුරුදු වෙනවා.

ඒ නිසා පුංචි කාලයේ ඉඳලම ඔබේ දඬුවම් වලින් පීඩාවට පත් වුනාට පස්සේ දරුවන් ඔබේ අවවාද නොසලකා හරින්න පටන් ගන්න වුනත් පුළුවන්. ඒනිසාම නිවරදිය් කියන හැසිරීමට පිටින් තියෙන ඕනෑම වැරදි හැසිරීමකට ඔවුන් යොමු වෙන්න පුළුවන් ඔබව ප්‍රතික්ෂේප කිරීමට.

දෙමව්පියන් වශයෙන් ඕනෑවටත් වඩා දරුවන්ට බලපෑම් කරන්න යාම නිසා ඉහත තත්ත්වය නොවැලක්විය හැකි දෙයක් බවට පත් වෙන්න පුළුවන්.

මානසික අවපීඩනය


ළමා කාලයේ දඬුවම් වලට ලක් වූ දරුවන් කාලයක් යද්දී මානසික අවපීඩනය ආදී මානසික රෝගී තත්වයන්ට ගොදුරු වූ අවස්ථා අද සමාජයේ ඕනෑතරම් දකින්න පුළුවන්. මේ කතා කරන්නේ හැම මව්පියෙක් ගැනම නෙවෙයි. සමහර අම්මලා තාත්තලා ඉන්නවා පැන්සලක් නැති වුනත් දරුවන්ට ගහන බනින ඒ කියන්නේ පොඩිම පොඩි දෙකට වුනත් එයාලා දරුවන් එක්ක ගොඩක් තරහ ගන්නවා.

කාලයත් සමග මේ හැමදේම දරුවන් මානසික රෝග වලට ගොදුරු වෙන්න හේතු වෙන්න පුළුවන්. අන්තිමටම වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම, ඔවුන් සාමාජීය සම්බන්ධතා වලින් ඈත් වී හුදකලාව ඉන්න පෙළඹීම වගේ තත්ත්වයන්.

මේ හැම දේම ගැන හිතල බැලුවම දරුවන් යහමගට ගන්න කියලා දඬුවම් කරන එක හොඳ පියවරක් කියලා හිතන්න පුලුවන්ද? දඬුවම් කිරීමෙන් කිසිසේත් විනයගරුක දරුවන් හදන්න බැහැ. එහෙනම් කොහොමද දරුවන් යහමගට අරගෙන විනයගරුක පුරවැසියෝ කරන්න පුළුවන් කියලා අපි කතා කරමු.

ඊට කලින්, "ඔබ දරුවන්ට දඬුවම් නොකළ යුත්තේ ඇයි" කියලා වැඩි දුරටත් දැන ගන්න කැමැතියි නම් click කරන්න.

දඬුවම් නොකර විනයගරුක දරුවන් හදන්නේ කොහොමද?


දඬුවම් වලින් තොරව විනය හදන එක මේ ලෝකේ තියෙන කරන්න අපහසුම වැඩේ නොවෙයි. ඒ වගේම දඬුවම් නොමැතිව විනයගරුකව ඔවුන්ව අනාගතයට හැඩ ගැස්වීම වැදගත්ම දෙයක්. ඒකට හේතුව වෙන්නේ දඬුවම්, දරුවන්ගේ අනාගත ජීවිතයම අඳුරු කරන නපුරු හෙවනැල්ලක් වෙන්න පුළුවන් නිසා.

ඒනිසා දෙමාපියන්ට පුළුවන් නම් යහපත් පුරවැසියෝ වෙන හැටි දරුවන්ට උගන්නන්න, ඒක තමයි ඔබට දරුවන්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග. ඒ විතරක් නෙවෙයි අනාගත පරපුරත් දඬුවම් වලින් තොරව දරුවන් යහමගට ගන්න හැටි ආදර්ශයට ගන්න නිසා ඒක අනාගතය වෙනුවෙන් කරන ආධ්‍යාත්මික ආයෝජනයකුත් වෙනවා.

විනයගරුක දරුවන් බිහිකරන්න සරල පහසු පියවර
ඔබේ දරුවා තේරුම් ගන්න


දරුවන්ව නිවැරදි මාර්ගයේ යැවීමේදී වැදගත්ම දේ වෙන්නේ දරුවන්ව තේරුම් ගැනීමයි. කොහොමද දරුවන්ව තේරුම් ගන්නේ? දරුවන්ව තේරුම් ගන්න නම් ඔවුන්ට ගොඩාක් සමීප වෙන්නට සිදු වෙනවා.

ඔබ ඔබේ දරුවන්ට කිට්ටු වෙන තරමට ඔබට ඔවුන්ව තේරුම් ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. එතකොට දරුවන්ගේ අවශ්‍යතා , වුවමනා වගේම හැගීම් හොඳින් තේරුම් ගැනීමට හැකි වෙනවා.

තවදුරටත් Psychology Today වෙබ් අඩවිය දරුවා හොඳින් තේරුම් ගැනීමට ප්‍රශ්න 6ක් දක්වා තියෙනවා. ඒ ලිපිය කියවීමෙන් ඔබට ඒ ගැන හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවනි.

දරුවන්ට ආදර්ශමත් චරිතයක් වන්න.


දෙමාපියන් කියන්නේ දරුවන්ගේ පූර්ව ගුරුවරුන්. ඉතින් දරුවන්ට හොඳ ආදර්ශමත් චරිත වෙන්න දෙමාපියන්ට පුළුවන්.

දරුවන් ඉපදුනාට පස්සේ මුලින්ම එයාල දේවල් ඉගෙන ගන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි. ඒ නිසාම ඔබ යහපත් දරුවන් බලාපොරොත්තු වෙනවනම් මුලින්ම ඔබ යහපත් චරිතයක් වන්න. අම්මගෙයි තාත්තගෙයි විනය තමයි දරුවනුත් ආදර්ශයට ගන්නේ. දරුවන් හැමවිටම අම්මා තාත්තා අනුකරණය කරන්න පෙළඹෙන නිසා ඔබ විනයගරුක නම් දරුවනුත් ඉබේම විනයගරුක බව ජීවිතයට එක කර ගනීවි.

හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද යන්න දරුවාට වටහා දෙන්න



හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියල වෙන් කරලා අඳුරගන්න දරුවන්ට අපහසුයි. ඒ නිසා ඔවුන්ට සුදුසුයි කියල හිතෙන ඕනෑම දෙයක් දරුවන් කරනවා. අපට දේවල් ගැන හොඳ තේරුමක් තියෙන නිසා හරි වැරැද්ද තෝරාගන්න හැටි දරුවාට කියල දීම අපේ යුතුකමක්.


ඒ විදියට දරුවාට හරි වැරැද්ද වටහලා දෙනකල් ඔවුන් නිවැරදි දේ කරලා වැරදි දේ නොකර ඉඳියි කියලා බලාපොරොත්තු වීම නුසුදුසුයි.

ඔබට පුළුවන් දරුවන් එක්ක සුහද සාකච්චා වලට මුල පුරලා ඒවගේ දේවල් දරුවන්ට පහසුවෙන්ම උගන්නන්න. " ආච්චි අම්මා කියන දේවල් අපි අහන්න ඕනේ පුතේ. ආච්චි අම්මා අපිට වඩා ගොඩාක් දේවල් දන්නවනේ" " අපි ගොඩාක් පැණිරස කෑම කෑවොත් පලතුරු වලට අපේ බඩේ ඉඩ නැති වෙයි නේද? " මේ වගේ සුහදව පුළුවන් ඕනෑම දෙයක් දරුවාට ඒත්තු ගන්වන්න.

ඒ වගේ මගපෙන්නීම් වලට විරුද්ධ වෙන්න දරුවන්ට බැහැ. මොකද ඒවා ආදරණීය නිසා. පුංචිම දරුවන් වුනත් ඔබේ වචන පුනරුච්චාරණය කරමින් ඒ මාර්ගයේ යන්න උත්සාහ කරාවි.

දරුවන්ට සීමා පනවන්න



ඒ ඒ වයසට සුදුසු විදියට දරුවන්ට විනය උගන්වන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි සීමා පැනවීම. යොවුන් වියේ සිටින දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන හොඳ හැසිරීම් කුඩා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා වයසට අදාළ විදියට සීමා පනවන්න අපි පරිස්සම් වෙන්න ඕනේ.

සීමා පැනවීමෙන් අදහස් වෙන්නේ නැහැ දරුවන්ව දරුණු විදියට පාලනය කිරීමක්. ඔබේ දරුවා මුළු හවස් වරුවම TV බලනවානම් ඒක අඩු කරන්න සීමා පනවන්න පුළුවන්. ඒත් ඔබේ වචනය නොසලකමින් දරුවා දිගටම TV බලනවානම් ඔබට පුළුවන් ඔවුන්ට මෘදු ලෙස කියන්න රූපවාහිනිය නිවා දමන ලෙස. ඒත් ඔහු ගණන් නොගෙන දිගටම Tv බලනවානම් ඔබට පුළුවන් දැඩිව කියන්න රූපවාහිනිය නිවා දමන්න කියලා, ඒත් දරුවාට සැරවැර කරන්න යන්න එපා. ඒත් දරුවා දිගටම ඒ ක්‍රියාවම කරනවානම් ඔබට පුළුවන් ඔබේ කිසිදු තරහක් ඔවුන්ට නොපෙන්වා රූපවාහිනිය නිවා දමන්න.

ආයෙමත් මම ඔබට මතක් කරන්නේ සීමා පනවන විට හැම වෙලාවේම දරුවාගේ වයස ගැන සැලකිලිමත් වෙන්න කියලයි.

නම්‍යශීලී වෙන්න.ඒත් ස්ථිරසාර වෙන්න



මව්පියන් නම්‍යශීලී වෙන්න ඕනේ. අපි දන්නවා වේලුනු දැඩි අතු මහා සුළඟට කැඩිලා වැටෙනවා. ඒත් අමු අතු නම්‍යශීලී නිසාම ඕනම කුනාටුවකට වුනත් ඔරොත්තු දෙනවා. ඒකට හේතුව ඒ අතු අවස්ථාවට හරියන විදියට නම්‍යශීලී වීමයි.

දරුවන්ව රැක බලා ගැනීමේදී දෙමාපියනුත් ඒ අමු අතු වගේ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අර වේලිච්ච අතු කෑලි වලට කැඩුනා වගේම අපේ ජීවිත වලත් සතුට නැති වෙන්න පුළුවන්. දරුවන් හැම වෙලේම කැමතියි දෙමාපියන් නම්‍යශීලී වෙනවට.

ඒත් මතක තියාගන්නම ඕනේ දෙයක් තමයි ස්ථිරසාර වීමත්. ඒ කියන්නේ එක දෙයක් සම්බන්ධයෙන් තියෙන ඔබේ අදහස විටින් විට වෙනස් කරන්න යන්න එපා. හැමවිටම ඔබ ඔබේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන ධනාත්මක හැසිරීමේ අගය තියා ගන්න. දරුවන් ඔබෙන් සෙල්ලම් කරන්න අවස්තාව ඉල්ලනවානම් ඒ අවස්තාව ඔවුන්ට දෙන්න. ඒත් පාසල් වැඩ ඉවරවෙලා සෙල්ලම් කරන්න කියලා මෘදුව දරුවට කියන්න.

එහෙම නැතුව " නෑ නෑ දැන් ඉස්කෝලේ වැඩ කරන්න ඕනේ. සෙල්ලම් කලාම කවුද ඒවා කරන්නේ? " කියල කියන්න එපා. එවැනි ක්‍රම වලින් දරුවාව යහපත් මාර්ගයට ගන්න බැහැ.

අපි කැමතියි අපෙන් ඉල්ලීම් කරනවට. ඒත් අපි කැමති නැහැ අණ කරනවට. ඉතින් අපේ දරුවනුත් ඒ වගේමයි නේද?

ඔබේ දරුවාට ඇහුම්කන් දෙන්න.



දරුවන්ට ඇහුම්කන් දීමත් දරුවන් යහමගට ගැනීමේ හොඳ උපක්‍රමයක්. ඔවුන්ට ඇහුම්කන් දීමෙන් ඔවුන්ට අවශ්‍ය මොනවද කියලා තේරුම් ගන්න පුළුවන්. සමහරවෙලාවට ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඔබ ඔවුන්ට ඇහුම්කන්දීම පමණක් වෙන්න පුළුවන්. ඒත් ඒ විදියට ඇහුම්කන් දුන්නම එයාලගේ ප්‍රශ්නයෙන් භාගයක්ම විසඳෙන්නත් ඉඩ තියෙනවා.

එතකොට ඔබගේ අවධානය දිනා ගන්න ඔවුන්ට ඔබව තරහ ගස්සන්න වුනත් අවශ්‍ය වෙන්නේ නැහැ. සරලවම කිව්වොත් ඔවුන් ඒකෙන් ඉගෙන ගන්නවා රණ්ඩු කරනවට වඩා සාකච්ඡා කරලා විසඳගන්න එක හොඳයි කියලා. ඔබ ඔබේ දරුවන් එක්ක ඉන්නවා කියන්නේ දරුවන් යහමගට ගැනීමම තමයි.

දරුවාගේ හොඳම යහළුවා වෙන්න


දෙමව්පියන් දරුවන්ගේ හොඳම යහළුවන් වෙනකොට ඔවුන් දෙගොල්ලොම වාසනාවන්ත වෙනවා. දරුවෝ එයාලගේ හදවත් හොඳම යාළුවො ඉදිරියේ විවෘත කරනවා. ඒ නිසා ඔබට පුළුවන් නම් දරුවාගේ හොඳම යාලුවා වෙන්න ඔබේ දරුවා ඔබේ වචන වලට ඉබේම කීකරු වේවි.

එතකොට දරුවන්ව නිවැරදි මාර්ගයට ගන්නට ගොඩාක්ම පහසු වෙනවා.

දරුවන්ට බල කරන්න එපා



මෙන්න මේ විදියට තමයි ඔයා හැසිරෙන්න ඕනේ, මෙන්න මේවා තමයි ඔයා කරන්න ඕනේ කියලා කවදාවත් දරුවට බලකරන්න එපා. බලෙන් අපිට දරුවන්ගෙන් කිසිම දෙයක් කරවගන්න බැහැ. ඔබේ බල කිරීමට දරුවන් දෙයක් කරන්න පෙළඹුනත් ඔවුන් ඒ දේ කවදාවත් ඔවුන්ගේ ජීවිතයට එකතු කර ගන්න එකක් නම් නැහැ.

අපිට දරුවන්ට විනය ඒ විදියට බලහත්කාරයෙන් උගන්වන්න බැහැ. එක දරුවන් කැමැත්තෙන් පුහුණු කරන්න ඕනේ දෙයක්.

දරුවන්ට දේවල් කරන්න බල කරනවා වෙනුවට ඒ දේ කැමැත්තෙන් කරන්න දරුවාට පෙළඹවීමක් ඇති කරන්න. ඒකෙන් ඔබටම ඉගෙන ගන්න පුළුවන් බල කිරීම ප්‍රතිපලදායක නැහැ කියලා

දරුවන්ට බල කරන්න එපා



"ගස් නගින්න එපා", "සෙල්ලම් බඩු කටේ දාන්න එපා" "ඒක කඩන්න එපා" ඒක කරනන එපා" "මේක කරන්න එපා". හැම ගෙදරකින්ම වගේ ඇහෙන වාක්‍ය තමයි ඒ. දරුවන් කොහොමත් අපි එපා කියන දේවල් කරන්න කැමතියි. ඒක ඔවුන්ගේ ස්වභාවය. ඒ නිසා නිවැරදිම දේ වෙන්නේ එපා කියන එක නෙවෙයි. ඒ වෙනුවට එපා කියන හේතුව කියලා දෙන්න. ඒක තමයි ළමයි යහමගට ගැනීමේ නිවැරදිම ක්‍රමය.

දරුවන්ට හැමදේම දැනගන්න කුතුහලයක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඒ කුතුහලය ප්‍රයෝජනයට අරගෙන හැමදේම එපා කියන්න යන්නේ නැතුව ඇයි කියලා කියා දෙන්න.

එපා කියන වචනය ඍණාත්මක වචනයක්. දරුවන්ව අපි පුළුවන් තරම් ධනාත්මක වචන වලට යොමු කරවන්න ඕනේ. මේ ලිපිය කියවන්න. මේකේ සඳහන් වෙන්නේ " කොහොමද ඍණාත්මක වචන දරුවන්ට බලපානේනේ සහ අයි ඒ වචන අපි සීමා කල යුත්තේ?" කියලයි.?”

දරුවන්ගේ යහපත් හැසිරීම අගය කරන්න



"හොඳ වැඩක් පුතා කලේ" "හොඳ පුතා" "හොඳ දුව". මේවා පුංචි වචන ටිකක් වුනත් පුංචි දරුවන්ගේ හිත සතුටින් පිරෙනවා මේ වගේ වචන ඇහෙනකොට.

ඒ නිසා පුළුවන් හැමවෙලාවෙම දරුවාගේ හොඳ ක්‍රියා අගය කරන්න. එතකොට ඊළඟ වතාවේ එයාල දෙයක් කරනකොට හරි දේ කරන්න ඉබේම යොමු වේවි. මොකද එයාලා දන්නවා හොඳ වැඩක් කලොත් අම්මයි තාත්තයි එයාලව ගොඩක් අගය කරනවා කියලා.

බලන්න, කොයිතරම් පුංචි දේවලින් දරුවන්ව යහමගට ගන්න පුලුවන්ද කියලා.

දරුවන්ගේ සුළු වැරදි නොසලකා හරින්න



දරුවන් කරන හැම වරදක් ගානෙම ඔවුන්ට දඬුවම් කරන්න යන්නෙපා. ඔවුන් අතින් සිද්ධ වෙන සුළු වැරදි ඔබට පහසුවෙන්ම නොසලකා හරින්න පුළුවන්. අපිට අවරුදු දෙකක දරුවෙක්ගෙන් නිවැරදිවම කෑම කන විදිය බලාපොරොත්තු වෙන්න බැහැ. එයාලා කෑම කද්දී ඇඟේ ගෑවෙනවා. මේසේ උඩ කෑම හැලෙනවා. ඉතින් ඒවා සාමාන්‍යයි.

අපි උදාහරනයකට ගනිමුකෝ දරුවාට වැසිකිලි පුහුණුව ලබා දෙනවා කියලා. එතකොටත් පොඩි පොඩි අතපසුවීම් එයාලගේ අතින් වෙන්න පුළුවන්. ඒවා බරපතල විදියට අරන් දරුවට දඬුවම් කරන්න යන්න හොඳ නැහැ. දරුවන් ඒවා ටිකෙන් ටික ඉගෙන ගනීවි. අපි කරන්න ඕනේ ඒ වගේ සුළු වැරදි නොසලකා හැරලා ඔවුන්ගේ යහපත් දේවල් අගය කරලා තව තවත් හොඳ දේවල් කරන්න යොමු කරන එකයි.

පවුලේ සාමාජිකයන්ට එක්ව සිටින්න වෙලාවක් වෙන් කර ගන්න



දෙමාපියන් දරුවන් සමග ගුණාත්මක විදියට එකට ගත කරන කාලය දරුවන් යහමගට ගන්න හේතු වෙනවා. ඔබ බලාවිනේ ඒ කිහොමද කියලා. ඉන්න මම විස්තර කරන්නම්.

ඔබ පවුලක් වශයෙන් එකට වැඩ කරන වේලාවන්වල දරුවන් ඉගෙන ගන්නවා මොනවද හොඳ දේවල් කියලා. ඒ වගේම ඒකෙන් ඔවුන් පවුලේ අයත් එක්ක ඉතා ලඟින් බැඳෙනවා. එතකොට එයාල පවුලේ තියෙන සංස්කෘතියත් එක්ක කැමැත්තෙන්ම බැඳීම සිද්ධ වෙනවා. එතකොට ඔබේ පවුලේ ඔබ බලාපොරොත්තු වෙන යහපත් ගතිගුණ දරුවන් තුල ඔබ නොදැනුවත්වම ගොඩ නැගෙන්න පටන් ගනීවි.

දරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් සිතා බලන්න



දරුවන් ලෝකය දකින විදිය වැඩිහිටි අපි ලෝකය දකිනවට වඩා ගොඩක් වෙනස්. ඒ නිසා අපිට සමහර වෙලාවට සිද්ද වෙනවා දරුවෝ බලන විදියට දරුවෝ හිතන විදියට හිතන්න එයාලා කරන දේවල් තේරුම් ගන්න. සරලවම කියනවනම් දරුවාගේ පැත්තෙන් හිතන්න වෙනවා.

"මම මගේ දරුවා වුනා නම් අම්මගේ අවධානය නැති වුනාම මම මොනවා කරාවිද?" මෙහෙම හිතල බැලුවොත් දරුවාගේ වැරදි හැසිරීම් වලට හේතුව ඔබට පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් වෙනවා.

දරුවන්ට ප්‍රතිචාර දක්වන්න. ප්‍රතික්‍රියා දක්වන්න එපා.



අපේ දරුවන්ට අපේ ප්‍රතිචාරයයි අවශ්‍ය වෙන්නේ. එයාල අපි ප්‍රතික්‍රියා දක්වන්වට කැමති නැහැ. ඔවුන් ඔබේ අවධානය ඉල්ලනවානම් අහන්න ඔවුන්ට මොනවද ඕනේ කියලා, එත් එයාලව කරදරයක් කියල හිතල ගහන්න යන්න එපා.

දරුවා කරදර කරමින් ඔබේ අවධානය ගන්න උත්සාහ කරනවා කියල හිතන්නකෝ. ඒක කොච්චර කරදරයක් වුනත් ඔබට පුළුවන් නම් තරහ යටපත් කරගෙන ඔවුන්ට මෘදු විදියට කතා කරලා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න, ඊළඟ වතාවේ ඔවුනුත් මෘදු විදියට ඔබෙන් දේවල් ඉල්ලාවි.

සාරාංශය
දඬුවම් නොකර දරුවන් යහමගට ගැනීම කිසිසේත්ම කල නොහැකි දෙයක් නොවේ. ඕනෑම දෙමව්පියෙක්ට මේ ලිපියේ සඳහන් කරලා තියෙන සරල පියවර වලින් දරුවන් පහසුවෙන්ම ආදරණීය හා මෘදු විදියට යහමගට ගන්න පුළුවන්.

මම ඔබට ආරාධනා කරනවා වැඩිදුර විස්තර සඳහා “How to potty train your kid without yelling and smacking” කියන ලිපිය කියවීමට.

භාවනාවේ විශ්මිත ප්‍රතිඵල 7ක්

මානසික ආතතිය දුරු කරයි


සිරුරේ ඇති ආතතිය වැඩි කරන කෝටිසෝල් හෝමෝනය පහත හෙලන්නට භාවනාව සමත් වෙනවා. මානසික වගේම කායික ආතතිය දුරු කරන්න  භාවනා කිරීමේ පුරුද්දට පුළුවන්. දිගුකාලීන මානසික ආතතිය නිසා ඇතිවිය හැකි නින්ද නොයාමේ ගැටලුව, විශාදය ඇතිවීම, රුධිර පීඩනය ඉහළ යාම, කායික සහ මානසික විඩාවක් දැනීම, මතක ශක්තිය දුර්වල වීම වැනි ගැටලු ඇතිවීම වැළකෙනවා.  මානසික ආතතිය වර්ධනය වීමෙන් පසු කාලීනව ඇතිවිය හැකි මානසික රෝග, පෞරුෂ අක්‍රමතා ආදිය වළක්වාගන්න භාවනාවෙන් උපකාර ලැබෙනවා. භාවනා කිරීමෙන් සමාජ භීතිකාව, කාංසාව, ව්‍යාකූල සිතුවිලි හට ගැනීම, උමතු හැසිරීම් වැනි රෝග ලක්ෂණ පාලනය කෙරේ. පීඩනය අධික ව්‍යාපාරික ස්ථාන තුළ සිය සේවකයන්ට භාවනාව අනිවාර්ය අංගයක් කොට තිබේ.


මතක ශක්තිය වර්ධනය වීම


අධ්‍යාපනය ලබන වයසේ දරුවන්ට සිය මතක ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා භාවනාව කියන්නේ හොඳ ක්‍රමයක්. ඒ වගේම වයස්ගත වීමත් සමඟ ඇතිවන මතක ශක්තිය දුර්වල වීමේ ගැටලුව පාලනය කරගන්නත් භාවනාව උදව් වෙනවා. අවධානය යොමු කිරීමේ හැකියාව සහ චින්තන ශක්තියේ ධනාත්මක බව වර්ධනය වීම වැනි ප්‍රතිඵල භාවනාවෙන් හිමිවෙනවා. ඩිමෙන්ෂියාව කියන මතකය නැති වී යන රෝගය අඩකින් පාලනය කරන්නට භාවනාව සමත් වෙනවා. ඒ වගේම රෝගීන් බලා ගන්න පවුලේ සාමාජිකයන්ට ද සිය මානසික ආතතිය දුරු කර ගැනීමට භාවනාව උපකාරී වෙනවා.


ඇබ්බැහිවීම්  පාලනය කර ගැනීමේ හැකියාව


භාවනා කිරීම තුලින් පුද්ගලයකුගේ මානසික විනය, ආත්ම දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා. ඒ හරහා විවිධ ඇබ්බැහිවීම් පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. මත්පැන් පානය කිරීමේ කැමැත්ත, දුම්පානය කිරීමේ කැමැත්ත, අධික ලෙස ආහාරයට ඇතිවූ ගිජුකම, සිතෙහි ඇතිවන තෘෂ්ණාව වැනි හැඟීම් පලනය කර ගැනීමට භාවනා කරන්නෙකුට පහසුය. භාවනා කිරීම තුළින් මිනිසාගේ අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වීම නිසා සිය හැඟීම් සහ ආවේගයන් පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

 

සුවදායි නින්දක් ලබා ගැනීමේ හැකියාව


වර්තමානයේ බහුතරයක් දෙනා නින්ද නොයාමේ ගැටලුවෙන් පීඩා විඳිනවා. එවැනි අයකු භාවනාවට හුරු වීමෙන් සිය සිරුර ලිහිල් වීමත්, ආතතිය දුරු වීමත් නිසා සාමකාමී නින්දක් ලබා ගැනීමට උපකාරී වෙනවා. භාවනා කරන්නාගේ සිත සන්සුන් වීමෙන් ඔහුට සුවදායි නින්දක් ලබා ගැනීමේ හැකියාව අත්වෙනවා.

 

සිරුරට දැනෙන වේදනාව අඩු වීම


භාවනා කරන්නාගේ මොලේ රසායනිකයන් සහ මානසික හැකියාව සංවර්ධනය වෙනවා. එකම ස්වරූපයේ වේදනාවක් භාවනා කරන්නේකුට සහ භාවනා නොකරන්නෙකුට ලබාදුන් විට භාවනා කරන්නාගේ මනස එය නිසියාකාරව පාලනය කර ගන්නවා. භාවනා කරන්නෙකු කායික වේදනාව පිළිබඳව දක්වන සංවේදීතාවය අඩු බව සනාථ වී තිබෙනවා. රෝගීන්ට භාවනා කිරීමට හුරු  කිරීමෙන් ඔවුන්ගේ වරින් වර ඇති වූ වේදනාව පිළිබඳ පැමිණිලි අඩු වන බව සොයාගෙන තිබෙනවා. මාරාන්තික රෝග වැළඳුන රෝගීන්ට භාවනා කිරීම හුරු කිරීමෙන් ඔවුන්ගේ ජීවිතයේ අවසාන භාගයේ ඇති වන වේදනාව අවම වන බව පැවසෙනවා. කෙටියෙන් පැවසුවොත් භාවනා කරන්නන් සිය සිරුරට දැනෙන වේදනාව සමඟ සාර්ථකව ගනුදෙනු කිරීමට සමත් වෙනවා.

 

හදිසි අවස්ථාවලදී සන්සුන් වීමේ හැකියාව


යම්කිසි පුද්ගලයකු භාවනා කිරීමට හුරුවී සිටින්නේ නම් ඔහුට නොසිතූ මොහොතක ඇතිවිය හැකි කරදර හමුවේ සිය සිත පාලනය කරගෙන ඒවාට සාර්ථකව විසඳුම් සොයාගැනීමට හැකියාව ලැබෙනවා. සෙසු පුද්ගලයන් කරදර අබියසදී කලබලයට පත්වී දෑසට හොඳින්ම පෙනෙන විසඳුම් පවා අහිමි කරගන්නා මොහොතවල් වලදී භාවනා කරන්නෙකු සංසුන්ව සිය ගැටලුවලට විසඳුම් සොයා ගනු ලබනවා. ඒ නිසා ඕනෑම ගැටලුකාරී අවස්ථාවකට  සාර්ථකව මුහුණ දෙන්නට මේ අය සමත් වෙනවා.

 

අධි රුධිර පීඩනය අවම වීම


භාවනාව නිසා හදවතේ  ඇතිවන පීඩනය අඩු වෙනවා. සාමාන්‍යයෙන් අධි රුධිර පීඩනය ඇති වන්නේ කාලයත් සමග රුධිරය පොම්ප කිරීම සඳහා හදවත දැරූ වෙහෙස නිසායි. පසුකාලීනව හදවත දුර්වල වීමට එය හේතු වෙනවා. අධි රුධිර පීඩනයේ දී සිදුවන ධමනි සිහින් වීම හෘදයාබාධ සහ අංශභාගය වැනි රෝග ඇති කරවනවා. නමුත් භාවනා කිරීමට හුරු වීමෙන් රුධිර පීඩනය අඩුකර ගැනීමේ හැකියාව ලැබෙනවා.

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...