මේ වෙලාවේ අපේ රටේ සිද්ධ වෙන මේ ඛේදවාචකය ඉතාම කනගාටුදායකයි. පරිසර විද්‍යාඥයෙක් සහ මේ විෂය ගැන ගැඹුරින් හදාරපු කෙනෙක් සමඟ මට කෙටි සංවාදයක් යෙදෙන්න අවස්ථාවක් ලැබුනා ඉතින් මම ඔහුගෙන් දැනගත් ඒ දේවල් ඔබටත් වටී වී යැයි හැඟෙන නිසා මා මේ කෙටි ලිපිය ඔබ වෙනුවෙන් ලිවීමට තීරණය කලා..
මේ නායයෑම් මම දකින්නේ හුදෙක් "වැස්ස වැඩි නිසා වුන දෙයක්" විදියට නෙවෙයි. ඊට වඩා සංකීර්ණ භූ-විද්‍යාත්මක සහ මානව ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විදියටයි.
අපි මේ ප්රශ්නයේ ඇතුලාන්තය විද්‍යාත්මකව සහ තාර්කිකව විග්රහ කරමු. කඳුකරය නාය යන්න බලපාන ප්‍රධාන, නමුත් බොහෝ දෙනා කතා නොකරන ගැඹුරු කාරණා 4ක් මම මෙතැනදී මතු කරනවා.
සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නේ පස් කන්ද බර වෙලා කඩාගෙන වැටෙනවා කියලයි. නමුත් විද්‍යාත්මක ඇත්ත ඊට වඩා භයානකයි. කඳුකරයේ පස් තට්ටුවට යටින් තියෙන්නේ තද පාෂාණ (Bedrock). මේ පස් තට්ටුව සහ ගල අතර සම්බන්ධය රඳා පවතින්නේ ඝර්ෂණය (Friction) මතයි.
දවස් ගණනක් එක දිගට වැස්සම, පොළව යට වතුර පිරෙනවා. මේ වතුරට යන්න තැනක් නැති වුනාම, පස් අංශු අතර පීඩනයක් (Pore Water Pressure) ඇති වෙනවා. මේ පීඩනය නිසා පස් තට්ටුව සහ යටින් තියෙන ගල් තට්ටුව අතර තියෙන බැඳීම ලිහිල් වෙනවා. වතුර ක්‍රියා කරන්නේ ලිහිසි ද්‍රව්‍යයක් (Lubricant) විදියට. හරියට වාහනයක රෝද ලිස්සනවා වගේ, මුළු පස් කන්දම යට තියෙන ගල් තලාව මත ලිස්සා යනවා. මෙය "Planar Failure" හෝ "Circular Failure" ලෙස හඳුන්වනවා. අපි දකින ලොකුම නායයෑම් වෙන්නේ මේ නිසයි.
අපි නිතරම කියනවා "ගස් කැපුවම නාය යනවා" කියලා. නමුත් ඇයි මෙහෙම කියන්නේ?
ස්වාභාවික වනාන්තරයක ගස්වල මුල් පොළවට කිඳා බහින්නේ හරියට කොන්ක්‍රීට් එකක තියෙන යකඩ කූරු (Reinforcement bars) වගේ. මේවා පස් තට්ටු එකට අමුණන "ඇණ" වගේ ක්‍රියා කරනවා. අපි වනාන්තර කපලා තේ, රබර් හෝ එළවළු වගා කරනවා. මේවායේ මුල් තියෙන්නේ අඟල් කීපයක් ගැඹුරට විතරයි. මේවාට පස් කන්දක් දරාගෙන ඉන්න බැහැ.
වර්තමානයේ පසට තමන්ගේම බර දරාගන්න බැරි තැනට පත් වෙලා තියෙනවා ("Soil Cohesion" එක නැති වෙලා). අවුරුදු 100කට කලින් තිබුණ ශක්තිමත් මූල පද්ධතිය (Bio-engineering grid) දැන් පොළව යට දිරාපත් වෙලා ඉවරයි. දැන් තියෙන්නේ හිස් පස් තට්ටුවක් පමණයි.
අනිත් දේ තමයි කන්දක් ඇතුලේ ස්වාභාවිකව වතුර ගලාගෙන යන "නහර" (Natural veins) තියෙනවා. අපි කඳු බෑවුම් කපලා ගෙවල් හදනවා, පාරවල් හදනවා, තාප්ප බැඳලා කොන්ක්‍රීට් දානවා. මේකෙන් වෙන්නේ කන්ද ඇතුලෙන් එන වතුර පාරවල් බ්ලොක් වෙන එක. වතුරට එළියට එන්න තැනක් නැති වුනාම, කන්ද ඇතුලේ වතුර එකතු වෙලා කන්ද "Waterlogged" (වතුරෙන් පෙඟුණු) තත්ත්වයට පත් වෙනවා. හරියට වතුර පෙවූ ස්පොන්ජ් එකක් වගේ බර වැඩි වෙනවා. කන්දේ ස්ථායිතාවය බිංදුවට වැටෙනවා.
සෑම බෑවුමකටම දරාගත හැකි බර ප්‍රමාණයක් තියෙනවා. අපි කඳු මුදුන්වල තට්ටු ගොඩනැගිලි හදනවා. ඒ විතරක් නෙවෙයි, ඒ බර දරාගන්න බැරි පස් තට්ටු (Colluvium soil - පෙර නායයෑම් වලින් එකතු වුණු බුරුල් පස්) උඩ තමයි අපි මේවා හදන්නේ.
භූ විද්‍යාත්මකව බැලුවොත්, ලංකාවේ මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශ දැනටමත් "අස්ථාවර සමතුලිතතාවයක" (Meta-stable equilibrium) තියෙන්නේ. අපි කරන හැම අනවසර ඉදිකිරීමක්ම, කපන හැම පාරක්ම, පස් කපන හැම වෙලාවකම කරන්නේ මේ සියුම් සමතුලිතතාවය බිඳ දමන එකයි.
සරලව කිව්වොත්, අපි ස්වාභාවිකව ජලය ගලාගෙන යන්න තිබුණු භූගත මාර්ග වහලා, පසට ශක්තිය දුන්නු මූල පද්ධතිය විනාශ කරලා, කන්දට දරාගන්න බැරි බරක් පටවලා, ඊට පස්සේ ලිහිසි ද්‍රව්‍යයක් (වතුර) එකතු කරලා තියෙනවා.
මේ වෙලාවේ නාය ගියේ නිකන්ම නෙවෙයි; කඳුකරය භූ විද්‍යාත්මකව ප්‍රතිචාර දක්වනවා (Geological Reaction) එයාට දරාගන්න බැරි පීඩනය නිදහස් කරගන්න.
අපට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා...
මේ විපත වෙලාවේ අපි එකිනෙකාට උදව් කරගන්න ඕන බව ඇත්ත. නමුත් ඊටත් වඩා වටිනා දේ තමයි "පොළොවට ගරු කරන්න ඉගෙන ගන්න එක."
• අපි ගෙයක් හදද්දී වතුර බැහැලා යන්න කාණුවක් හරියට හදමු. වහලෙන් වැටෙන වතුර ටික පස් කන්ද ඇතුලට රිංගන්න දෙන්න එපා.
• පුළුවන් හැම තැනකම මුල් ගැඹුරට යන ගසක් සිටුවමු. ඒ ගස් තමයි අනාගතයේ අපේ දරුවන්ව නායයෑම්වලින් බේරගන්නේ.
• බෑවුම් කපද්දී කන්දට රිදෙන්නේ නැති විදියට, තාක්ෂණික උපදෙස් අරගෙන කරමු.
අපි සොබාදහමට ආදරේ කළොත්, සොබාදහම අපිව රැකගනීවි. අපේ කඳුකරය ආයෙමත් සුන්දර, ආරක්ෂිත තැනක් බවට පත් කරගන්න එක තියෙන්නේ අපි අතේමයි.
සියලු සත්ත්වයෝ ආරක්ෂා වෙත්වා!
- ප්‍රසාද් සර්

No comments:
Post a Comment