"මායාකාරී වූ අසිරිමත් ප්‍රේමයක් හමුවීමට නම්,
එම අසිරිය විඳ ගැනීමට සුදුසු වන පරිදි,
ඔබේ අභ්‍යන්තර සහ බාහිර ලෝකයන් සන්සුන්ව ගොඩනගා ගත යුතුය..."
සැබෑ ප්‍රේමය යනු හුදු අහඹුවක් නොවේ. එය ඔබගේම ආධ්‍යාත්මයේ සහ බාහිර ජීවන රටාවේ සුන්දර ප්රතිබිම්බයකි. සුරඟන කතාවක මෙන් සොඳුරු ප්‍රේමයක් අපේක්ෂා කරන්නේ නම්, ප්‍රථමයෙන් ඔබ ඒ සඳහා ඔබගේ චින්තනය සූදානම් කළ යුතු ය.
පිරිසිඳු නැවුම් ජලයෙන් පිරවීමට නම්.. පළමුව භාජනය හිස්ව පැවතිය යුතු ලෙසින්ම.. නව ප්‍රේමයකට ඉඩ හසර පෑදීමට නම් අතීතයේ කැලැල් සහ වේදනාවන්ගෙන් ඔබේ හදවත මුදාගත යුතු ය. අනතුරුව ස්වකීය වටිනාකම හඳුනාගෙන තමන්ට, තමන්ගේ ජීවන රටාවට ප්‍රේම කිරීමට හැකිවීමට තරම් ඔබ ඔබටම අවංක විය යුතු ය. තමන්ගෙ සියළු අසම්පූර්ණතා හොඳින් දැන හැඳින පවා තමන්ගේම ආත්මයට ඔබට ගෞරව කළ හැකි නම් පමණක් ඔබේ හදවතට ඒ නිවැරදි ප්‍රේමය හඳුනාගත හැකි වනු ඇත.
නිසල ජල තලයක සඳ එළිය මැනවින් පරාවර්තනය වන්නා සේ.. සන්සුන් වූ ද, නිදහස් වූ ද මනසකට පමණක් අව්‍යාජ ප්‍රේමයක් ආකර්ෂණය කරගත හැකිය. ව්‍යාජත්වයෙන් තොර වූ, තම සැබෑ ස්වභාවයට අනුකූල වූ ජීවන රටාවක් නිර්මාණය කරගන්න. සමාජයට පෙනෙනු පිණිස ව්‍යාජ වෙස් මුහුණු පැලඳීමෙන් වළකින්න. ධනාත්මක ආකල්ප සහ යහපත් ශක්තීන්ගෙන් පිරිපුන් වටපිටාවක් ගොඩනැගීමෙන්, එවැනිම වූ උසස් ආධ්‍යාත්මයකින් හෙබි ප්‍රේමයක් ඔබ වෙත නිසැකවම සමීප වනු ඇත.
ප්‍රේමය යනු බලහත්කාරයෙන් ලුහුබැඳ ලබාගත හැක්කක් නොවේ. ස්වභාවිකත්වයේ රිද්මයට අනුව එය ගලා ඒමට ඉඩහළ යුතුය. ඔබගේ ආධ්‍යාත්මයත්, ජීවිතයත් නිවැරදි ප්‍රේමය භාරගැනීමට තරම් සුන්දර වූ දිනෙක, එම අසිරිමත් ප්‍රේමය නිරායාසයෙන්ම ඔබ සොයා පැමිණෙනු ඇත.
ලෝකය ලස්සන වන්නේ,
දෙදෙනෙකු එක්වීමට පෙර,
ඔබ ඔබටම ප්‍රේම කිරීම ආරම්භ කරනා මොහොතෙනි !
එබැවින්,
හුදෙකලාව හරහා,
සදාතනික මායාමය ප්‍රේමයට යහපත් හදවතින් නැඹුරු වන්න !
ඒ මතින් ඉපදෙනා,
දෙදෙනෙකුගේ අත්‍යන්ත ලෙස නිසංසල ප්‍රේමය තරම් සොඳුරු කිසිවක්,
මේ මිහිපිට නැත !
ඇතැ යි සිතෙන්නේ නම්,
එවන් උසස් ප්‍රේමයක උත්කර්ෂය විඳීමට තරම් සුන්දර ආත්මයක්,
ඔබේ ඇතුළාන්තයෙන් ඔබ ගොඩ නගාගෙන නැත !
දියූණී ද සිල්වා🖤

No comments:
Post a Comment