🔴 'ඇබ්බැහිවීමක්' යනු ඇත්තටම සටන් කළ යුතු දෙයක්ද?
“මම දහස් වාරයක් උත්සාහ කළා. හැම පොතක්ම කියෙව්වා, හැම විදියක්ම කළා. හැම දේවාලයකටම ගිහින් වැන්දා. ඒත් මම තවමත් ඉන්නේ එතැනමයි.” මේ වචන ඔබටත් හුරු පුරුදුද?
මත්පැන්, දුම්වැටි වගේ දේකට විතරක් නෙවෙයි, සමහර විට දවස පුරාම ඔබව ඇදගෙන ඉන්න ජංගම දුරකථනයට, පෝන් විඩියෝ නැරඹිම, ඔබේ මනස වටලාගෙන ඉන්න එකම එක දුක්බර සිතුවිල්ලකට, නැත්නම් අනවශ්‍ය කේන්තිය ආදී මේ හැම ඇබ්බැහිවීමක් පිටුපසම තියෙන්නේ එකම කතාවක්.
බොහෝ විට ඔබ මේ පුරුදු එක්ක අරගල කරන්නේ, ඒවා ඔබටම එරෙහිව නැඟී සිටින සතුරන් විදිහට දකිමින්. මොකද අපිට හැමදාම කියලා දුන්නේ මේ දේවල් එක්ක සටන් කරන්න කියලා. ඒවා පරාජය කරන්න, ඒවායින් මිදෙන්න, නැත්නම් එක නරක පුරුද්දක් වෙනුවට තවත් හොඳ පුරුද්දක් ආදේශ කරන්න කියලා.
"ඒත් ඇත්තටම ඒ ක්‍රම වැඩ කළාද? ඒ සටනින් ඔබ දිනලා තියෙනවාද?"
මීට කාලයකට කලින් මට හමුවූ කෙනෙක් මට කිව්වේ.. "මම බොන්නේ මට ජීවතුන් අතර ඉන්නවා කියලා හැඟෙන්නේ ඒ වෙලාවට විතරක් නිසා. ඒත් ඊට පස්සේ මට දැනෙන්නේ හිස්කමක් විතරයි. මම මටම ද්‍රෝහි වුණා වගේ දැනෙනවා. ඇයි මට මේක නවත්තන්න බැරි? මම මෙච්චර දුර්වල ඇයි?"
ඔහුගේ කතාවේ තියෙන ඛේදවාචකය ඔබට පේනවාද? ඇබ්බැහිවීම ඔහුව විනාශ කරනවා වගේම, ඒ ගැන ඔහුම ඇති කරගන්නා වරදකාරී හැඟීම ඔහුව ඊටත් වඩා විනාශ කරනවා. ඔහු එකවර හිරගෙවල් දෙකක සිරවෙලා! එකක් පුරුද්ද, අනිත් එක ඒ නිසාම හිතේ ඇතිවන දෝෂාරෝපණය. සමහර විට ඔබත් මේ හැඟීම හොඳින්ම දන්නවා ඇති.
මම ඔහුහෙන් මෙහෙම ඇහුවා,
"ඔබ බෝතලය, සිගරැට්ටුව, නැත්නම් ෆෝන් එක අතට ගන්න වෙලාවට, ඔබ ඇත්තටම හොයන්නේ මොකක්ද? ඒ බීම, ඒ දුම නැත්නම් ඒ රූප විඩියෝද? නැත්නම් ඒක පිටුපස තියෙන හැඟීමද?" ඔහු නිහඬ වුණා. සමහර විට ඔහුගේ ජීවිතයේ පළමු වතාවට ඔහු යමක් තේරුම් ගත්තා.
ඔහු හිතුවේ ඇබ්බැහිවීම තමයි ප්රශ්නය කියලා. ඒත් ඇබ්බැහිවීම කියන්නේ, පුරවන්න බැරි හිස්කමක් පුරවන්න කරන උත්සාහයක් විතරයි. මේ කතාව හැම ඇබ්බැහිවීමකටම පොදුයි.
'ඇබ්බැහිවීම' අපට පොරොන්දු වෙන්නේ සැනසීමක්. ඒත් අවසානයේදී අපිට ඉතිරි වෙන්නේ වඩා ලොකු හිස්කමක්. ඒ නිසා අපි නැවත නැවතත් එයට යොමු වෙනවා. මේ චක්‍රය තව තවත් බලවත් වෙනවා..
සිතුවිලි වලට ඇබ්බැහිවීම ගැන ඔබ හිතලා තියෙනවාද? එකම සිදුවීමක් ගැන, එකම අපහාසයක් ගැන, එකම දුකක් ගැන නැවත නැවත හිත හිතා ඉන්න එක ගැන? ඒකත් එකතරා ඇබ්බැහිවීමක්.
ඉතින් මේ ඇබ්බැහිවීම් වලට කරන්න ඕනී දේ දැන් කියන්නම්, ඒවත් එක්ක සටන් කරන්න එපා, බලන්න! මේ ගැන පොත් ගොඩාක් කියවලා, සමාජය දිහා දැකලා මම තේරුම් ගත්තේ ඒක. අපි අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතු දෙයක් තමයි, සටන් කිරීමෙන් ඇබ්බැහිවීම ශක්තිමත් වෙන බව!
අපි එයට ප්‍රතිරෝධය දක්වන තරමට, එය ජීවත් වෙනවා. ඊට පස්සේ ඒ චක්‍රය දිගටම යනවා. දැන් ඉතින් ප්රශ්නය මේකයි. මම ඔබට "සටන් කරන්න එපා, බලන්න!" කිව්වම ඔබ අහන්නේ "සටන් නොකර, ඒක කර කර ඇබ්බැහිවීම දිහා බලන්න පුළුවන්ද? එහෙම සටන් නොකළොත් මට මගේ පාලනය නැති වෙන්නේ නැද්ද?"
"ඔව්, ඔබේ බය ස්වාභාවිකයි. අපි හිතන්නේ විනය කියන්නේ මුළුමනින්ම අවුල් ජාලාවක් නොවී සිටින්නට තියෙන හොඳම දේ කියලා. අපට පොඩි කාලේ ඉදන් ඉගෙනුවෙත් එහෙම, ඒත් ඒක ඇත්තද?"
ඔබ තීන්දුවක් නැතුව ඇබ්බැහිවීම දෙස බලන විට, ඔබ සමස්ත චිත්‍රයම දකින්න පටන් ගන්නවා. ඔබ ඒ පිටුපස ඇති තනිකම, කම්මැලිකම සහ බිය දකිනවා. එතකොට, ඒ දකින නිසාම, ඇබ්බැහිවීම එහි ග්‍රහණය ලිහිල් කරනවා. ඒක අඳුරු කාමරයකට ආලෝකය දෙනවා වගේ දෙයක්.
මෙහෙම කියෙව්වම මදි, ඇබ්බැහිවීම එද්දී මෙහෙම කරලම බලන්න! ඔබ අන්ධකාරය එලවන්නට උත්සාහ කරන්නේ නැහැ. නිරීක්ෂණය කියන්නේ ඉටිපන්දමක් පත්තු කරනවා වගේ දෙයක්..
"මම ඔයා කිව්ව විදිහටම කළා. මම සටන් කළේ නැහැ. මම බලාගෙන හිටියා. හිතේ ඇතිවන ආශාව, ඒ සිතුවිලි, පපුවේ තද ගතිය... මම බලාගෙන හිටියා. එක මොහොතකට මට දැනුණා ඒ ආශාව මම නෙවෙයි, මම නිකම්ම නිරීක්ෂකයා විතරයි කියලා. ඒ ආශාව ගිලිහිලා ගියා."
ඔහු පුදුමයෙන් වගේ කිව්වා..
මෙතන තියෙන විශේෂත්වය තමා, ඔබ විනිශ්චය නොකර නිරීක්ෂණය කරන විට, ඔබේ පුරුද්ද ඔබෙන් වෙන් වෙනවා. ඒ නිසා දැන්ම පටන් ගන්න!ආශාවක් ඇතිවුණාම, ඒක කෑමට, බීමකට, ෆෝන් එකට හරි මොන දේකට වුණත්, නිකම්ම ඒ දිහා බලාගෙන ඉන්න. ඔබේ ඇඟේ තියෙන තද ගතිය, ඔබේ හිතේ තියෙන නොසන්සුන්කම, ඔබේ හිත ඔබට කියන කතාව... හැම දෙයක්ම හොඳට දැනෙන්න. ඒක එලවන්න උත්සාහ කරන්න එපා. ඒකට යටත් වෙන්නත් එපා. නිකම්ම බලන්න. දැන් ඉන්න විදිහටම නිහඬව ඉන්න.
එහෙම බලනකොට ඔබට පුදුමාකාර දෙයක් අවබෝධ ලැබෙයි. ඒ ආශාව ඔබේ නෙවෙයි. ඒක ගහක් හරහා හමන සුළඟ වගේ. සුළඟ එනවා, යනවා, ඒත් ගහ චලනය වෙන්නේ නැහැ. ඔබ තමයි ඒ ගහ. මේ අවබෝධය ගැඹුරු වෙන විට, පුරුද්ද එහි ග්‍රහණය නැතිකර ගන්නවා. ඒක අඳුරට ලාම්පුවක් දැල්වුවා වගේ. අඳුර අරගලයකින් තොරවම නැතිවී යනවා, මොකද ආලෝකය එහි තියෙන නිසයි.
ඉතින් හෙට නෙවෙයි, දැන්ම. නිහඬව ඉන්න. බලන්න. සමහර විට ඔබට තේරෙයි නිදහස කියන්නේ දිගු ගමනක අවසානයේ තියෙන එකක් නෙවෙයි. එය ආරම්භ වෙන්නේ ඔබ දුවන එක නවත්වන මොහොතේ බව!
උදාහරණයකින් මේ කරුණු පැහැදිලි කරගමු!
රවිෂගේ රාත්‍රිය පැය ගණනාවක් පුරා ඇදී ගියා. සිවිලිමේ ලාම්පුවෙන් විහිදෙන එළිය කාමරය පුරා විසිරිලා තිබුණා. ඔරලෝසුවේ කටු රෑ 11.30, 11.45, 12.00 ලෙස එකින් එක මාරු වුණා. ඔහුගේ මනස නොසන්සුන්ව දුවනවා. ඔහු හිතුවේ හෙට උදේට කරන්න තියෙන වැඩ ගැන.
නමුත් ඔහුගේ අතේ තිබුණු ෆෝන් එකට ආපු නොටිෆිකේෂන් එකක් ඔහුගේ අවධානය වෙනතකට යොමු කළා. ෆේස්බුක් එකේ අලුත් පෝස්ට් එකක්. ඔහු හිතුවා 'යන්තම් විනාඩියක් ස්ක්‍රෝල් කරලා, ආයෙ නිදාගන්නවා' කියලා. ඒත් ඒ විනාඩිය පැය භාගයක් වුණා.
රවිෂ ෆෝන් එක පැත්තකින් තියලා, සිවිලිම දිහා බලාගෙන හිටියා. හිතට දැනුණේ හිස්කමක්. ඔහුට තේරුම් ගන්න බැරි වුණා ඔහු මෙච්චර වෙලාවක් ෆෝන් එකේ ස්ක්‍රෝල් කරලා මොනවද කළේ කියලා. ඔහුගේ දවස අවසන් වුණේ තමන්ගේම අසාර්ථකත්වයත් එක්ක.
ඔහුගේ දවසෙම අසාර්ථකත්වය ෆෝන් එකෙන් ස්ක්‍රෝල් කරලා අමතක කරන්න උත්සාහ කළා..
"මම මේකෙන් ගොඩ එන්න ඕන"
උදේට 7.00ට නැගිටින්න තිබුණත්, ඔහුට ඇහැරුණේ 8.00ට. 'තවත් දවසක් නැති වුණා' රවිෂට හිතුණා. මේ හැඟීම ඔහුට අලුත් දෙයක් නෙවෙයි. මාස ගාණක් තිස්සේම ඔහුගේ දවස පටන් ගත්තේ මේ විදිහට.
දවසක් ඔහු තීරණයක් ගත්තා.
ඔහු ෆෝන් එකේ තිබුණු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්,ටික්ටොක්, යුටියුම් ඇප්ස් ඩිලීට් කළා. ඔහු හිතුවා දැන් ඔහුට ඔහුගේ ජීවිතය පාලනය කරගන්න පුළුවන් කියලා.
මුලින් දින දෙක තුනක් ඒක සාර්ථක වුණා. නමුත් හතරවැනි දවසේ සවස් වරුවේ ඔහුට දැඩි හිස්කමක් සහ කම්මැලිකමක් දැනුණා..
ඔහුට යම් දෙයක් අවශ්‍ය වුණා. ඔහුට අවශ්‍ය වුණේ ෆෝන් එකේ ස්ක්‍රෝල් කරන්න. ඔහු ෆෝන් එක අතට අරගෙන ආයෙත් ඇප්ස් ඉන්ස්ටෝල් කරගත්තා. ඒ මොහොතේ ඔහුට දැනුණේ අපරාධකාරී හැඟීමක්.
"මට මගේ ජීවිතය පාලනය කරගන්න බැරිද?" ඔහු තමන්ගෙන්ම ප්‍රශ්න කළා. ඔහුට දැනුණේ ඔහුට තමන්ගේම ජීවිතය පාලනය කරගන්න බැරි අසරණ කෙනෙක් වගේ.
දවසක් රවිෂ මේ මානසික පීඩනයෙන් මිදෙන්න උත්සාහ කළා. ඔහු ෆෝන් එක අතට ගත්තා. ඔහුට දැනුණේ ස්ක්‍රෝල් කරන්න තියෙන දැඩි ආශාව. ඒක හරියට ඇබ්බැහියක් වගෙයි. ඔහුගේ ඇඟ වෙවුලන්න ගත්තා. හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. ඔහු ෆෝන් එක පැත්තකින් තියලා, ඔහුගේ ඇතුළේ ඇති වූ මේ නොසන්සුන්කම දිහා බලාගෙන හිටියා.
ඔහුගේ මනස ඔහුට කිව්වේ "මම මේක ඉක්මනින් කරන්න ඕන. මට ෆෝන් එක ස්ක්‍රෝල් කරන්න ඕන" කියලා. නමුත් ඔහු ඒ හැඟීමට යටත් වුණේ නැහැ. ඔහු ටිකෙන් ටික ඔහුගේ මනසින් මේ හැඟීම හඳුනාගත්තා..
"මේක කම්මැලිකමක්. මම තනිවෙලා වගේ හැඟෙන නිසා මට මේ හැඟීම ඇතිවෙනවා" ඔහුට තේරුම් ගියා..
"මට ඇත්තටම ඕන ෆෝන් එක නෙවෙයි. මට ඕන මගේ කම්මැලිකමෙන් පැනලා යන්න. මේක මට තාවකාලික සතුටක් විතරක් දෙන දෙයක්." ඔහුට ඒ මොහොතේ දැනුණේ පුදුම නිදහසක්.
ඒ දවසේ ඉඳන් රවිෂ ෆෝන් එක අතට ගත්තාම, ඔහු ස්ක්‍රෝල් කරනවා වෙනුවට ඔහුගේ ඇතුළේ තියෙන නොසන්සුන්කම සහ හිස්කම දිහා බලාගෙන හිටියා. ටිකෙන් ටික ඔහුට තේරුම් ගියා, ඔහුට අවශ්‍ය දේ ෆෝන් එකෙන් ලබාගන්න බැරි බව.
ඔහුට තේරුම් ගියා ඔහුගේ ජීවිතය පාලනය කරගන්න පුළුවන් බව. ඔහුට තේරුම් ගියා සැබෑ සතුට සහ සාමය ලැබෙන්නේ තමන්ගේ ඇතුළතින්ම බව. ඔහු දැන් ඔහුගේ උදෑසන 7.00ටම අවදි වෙනවා. ඔහුට දැන් දවස පටන් ගන්න අමාරු නැහැ. ඔහු දැන් ඔහුගේ කාලය වටිනා දේ සඳහා යොදවනවා. ඔහුට තේරුම් ගියා තමන්ගේ ජීවිතයේ පාලනය තමන්ගේ අතේම තියෙන බව.
▪️අවසන් වශයෙන්, "Observe, don’t absorb" කියන එක තමයි ඇබ්බැහිවීම් සහ මානසික අරගලයන්ගෙන් මිදීමේ හරය. අපි බීමත්කමට, ෆෝන් එක ස්ක්‍රෝල් කරන්න, නැත්නම් නිරන්තරයෙන්ම සිතුවිලි ජාලයක පැටලෙන කොට, අපි ඒ පුරුද්ද අපිම බවට පත් කරගන්නවා.
ඒත් අපි එය නිරීක්ෂණය කරනවා කියන්නේ, ඒ හැඟීම, ඒ සිතුවිල්ල, ඒ ආශාව හටගන්නා ආකාරය දුරින් ඉඳලා බලන එක. හරියට අහසේ යන වලාකුළක් දිහා බලනවා වගේ. ඔබ නිකම්ම බලන කෙනෙක්. ඒක ඒ විදිහටම ගලාගෙන යන්න දෙනකොට, ඔබ තේරුම් ගන්නවා ඒක ඔබේ කොටසක් නෙවෙයි කියලා.
"Observe, don't absorb" කියන එකෙන් වෙන්නේ, ඒ නපුරු හැඟීම් සහ සිතුවිලි වලට අපේ ජීවිත පාලනය කරන්න තියෙන බලය නැතිවෙන එක. මොකද, ඔබ ඒක උරාගත්තේ නැත්නම්, ඒක ඔබේ කොටසක් බවට පත්වුණේ නැත්නම්, තවත් සටන් කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. මේ අවබෝධය තමයි සැබෑ නිදහසට මඟ පාදන්නේ...

No comments:
Post a Comment