Sunday, May 3, 2026

 සම්බන්ධතා බිද වැටෙන්නේ, toxic නිසා විතරද, තමන්ට නොදැනෙන තැනක, නොදැනෙන පුද්ගලයෙක් එක්ක දිගටම ජීවත් වෙන්න ඕනෙද?

"Ideal Partner" තෝරගන්න, එයා එක්ක ජීවත් වෙන්න මනුස්සයෙකුට අයිතියක් නැද්ද?


සමහර සම්බන්ධතා අවුරුදු ගාණක් ගැටලුවක් නැතුව හොඳින් පවත්වාගෙන යනවා. තමන්ගේ  සහකරු, සහකාරිය විෂ සහිත කෙනෙක් නෙමෙයි. තමන්ව හොඳින් තේරුම් ගත්ත තමන්ගෙ ජීවිතේ හැම දේටම උදව් කරන කෙනෙක්.


ඒත් එකපාරටම එක්කෙනෙක් වෙනස් වෙනවා.


ඇයි එහෙම වෙන්නේ? 


මිනිස්සුන්ගේ හිත් වල තමන්ට ගැලපෙන සුදුසුම කෙනා කියන රූපයක් ඇඳලා තියෙනවා. (Ideal partner). නමුත් ගොඩක් මිනිස්සු මේ තමන්ට සුදුසුම කෙනා කියල හිතාගෙන ඉන්න පුද්ගලයා හෝ ගැහැණිය, මුණ ගැහෙන්න කලින් තමන්ට ගැලපෙනවා කියලා හිතෙන මිනිස්සු එක්ක සම්බන්ධතා පටන් ගන්නවා. සමහර වෙලාවට විවාහය දක්වාම මේ සම්බන්ධතා යනවා.


එහෙම සම්බන්ධතා පටන් ගත්තත්, විවාහයෙන් බැඳුණත්, තමන්ගේ සුදුසුම කෙනා කියලා හිතාගෙන හිටපු කෙනාගේ චිත්‍රය වෙනස් වෙන්නෙ නෑ. ඒක එහෙම්මම තියෙනවා. ඉතින් යම් කාලයක් ගිහිල්ලා,  එයාගේ හිතේ මවාගෙන හිටපු "Ideal Partner" (ෆැන්ටසියට ගැළපෙන කෙනා) වගේ කෙනෙක් එයාට මුණගැහුණු ගමන්, මෙච්චර කාලයක් තමන් එක්ක හිටපු මනුස්සයාව එපා වෙනවා. ඒ මනුස්සයව දැනෙන්නෙ නැතුව යනවා.


මේ ආත්මාර්ථකාමිත්වය ගැන ඔයා පොඩ්ඩක් හිතන්න


1. තමන්ගෙ අවශ්‍යතාවලට මනුස්සයෙක්ව පාවිච්චි කරන්න එපා


තමන්ට සුදුසුම (ideal) කෙනා හම්බවෙනකල් තනිකම මකාගන්න, තමන්ට ආදරය විඳින්න, කවුරු හරි ළඟ නතර වෙන්න එපා. ඔයාට ගැළපෙන කෙනා කවුද කියලා ඔයා දන්නේ නැත්නම්, ඒ කෙනා කවුද කියලා, තමන්ගෙන්ම අහල බලල තීරණයක් ගන්න. අවංකව තව කෙනෙක්ට ආදරය කරන්න බැරි නම්, ඒ මනුස්සයාට බලාපොරොත්තු දීලා පස්සේ අතරමං කරන එක මාරම අසාධාරණයක්.


2. සිතුවිලිවල පාලනය (Self-Control)


හිතෙන හිතෙන වෙලාවට, හිත යන යන පුද්ගලයා පස්සේ යන එක ආදරය නෙමෙයි. ඔයාට සුදුසුම කෙනා හම්බවුණේ පස්සේ නම්, ඒක ඔයාගෙ වරදක් මිසක්, ඔයාට ආදරේ කරපු මනුස්සයාගේ වරදක් නෙමෙයි. තමන්ගේ වැරැද්දට තමන්ට ආදරය කරපු කෙනෙකුට දඬුවම් දෙන්න එපා.

තමන්ට ඇත්තටම ආදරේ කරපු, තමන් වෙනුවෙන් කැපවුණු මනුස්සයාට පක්ෂපාතී (Loyal) වෙන්න.


3. දෙවනියා අතහැරලා තුන්වෙනියා ළඟට?


අද ඔයාට ගැළපෙනම කෙනා කියලා හිතෙන කෙනා, හෙට ඔයාට තව කෙනෙක් හම්බවුණාම "නොගැළපෙන" කෙනෙක් වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ ම නැහැ කියලා ඔයාට කියන්න බැහැ. ඔයාට පළවෙනි මනුස්සයා හම්බවෙන වෙලාවෙත් ඔයාට හිතුනෙ මෙයාට මට ගැලපෙන කෙනා කියලානේ. ඒත් හිතේ ඉන්නවා කියලා හිතන් හිටපු මනුස්සයා හම්බවුණාම, ඒ අදහස වෙනස්වුණා. 

දැන් ඔයා ඔයාට සුදුසුම කෙනා කියලා හිතන, කෙනාගෙත් ඔයා බලාපොරොත්තු වෙන හැමදේම නැතිවෙන්නන පුළුවන්. ඔයා බලාපොරොත්තු වෙන දේවල් වලින් 90% තියෙන කෙනා දෙවෙනි කෙනා කියලා ඔයාට හිතෙන්න පුළුවන්, හැබැයි දවසක, ඔයා බලාපොරොත්තු වෙන දේවල් වලින් 95% තියෙන කෙනෙක් ඔයාට හම්බ වුණොත්, ඔයාට ඔය 90% තියෙන කෙනත් අතාරින්නන වෙනවා. 


මේ දුවන මානසිකත්වය තියෙන කෙනෙක්ට කවදාවත් එක තැනක සැනසීමක් හම්බවෙන්නේ නැහැ. ඔයා කරන්නේ පෞරුෂයක් නැති මනුස්සයෙක් විදිහට මිනිස්සුන්ගේ හිත් රිදවන එක විතරයි.


මෙතනදී අනිත් පාර්ශවයට මතක් කරන්න තියෙන කාරණය තමයි, ඔයා සම්බන්ධතාවය පටන් ගන්න යන කෙනා, ඔයා ළඟට එන්නේ තව කෙනෙක්ව අතෑරලා දාලා නම්, ඔයාටත් ඒ දේම කරන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා.


4. දරාගැනීමේ සීමාව


මිනිස්සු මිනිස්සුන්ට ආදරය කරන්න ඕන, ඒත් ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. අනිත් කෙනාට ආදරය කරන ගමන්, ඊට වඩා දශමයක් හරි වැඩියෙන් තමන්ට ආදරය කරන්න ඕන. ඒත් හැම මනුස්සයෙක්ම සම්බන්ධතාවයක් පටන් ගන්නේ එහෙම නෙමෙයි. සමහර අය මිනිස්සුන්ට ඇබ්බැහි වෙනවා. එයාලා ඕනෑම වෙලාවක මේක නැති වෙන්න පුළුවන් කියන සූදානමකින් නෙමෙයි ඉන්නේ. ඉතින්, ඔයාගේ ආත්මාර්ථකාමී තීරණයක් නිසා තව මනුස්සයෙක් මුළු ජීවිත කාලයම විඳවන්න පුළුවන්. ඒ පවට ඔයාට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා. 


ආදරය කියන්නේ හිතෙන හිතෙන වෙලාවට මාරු කරන ඇඳුමක් නෙමෙයි. ඔයාට කෙනෙක්ට අවංක වෙන්න බැරි නම්, ඔයාගේ "සිහින කුමාරයා හෝ කුමාරිය" හම්බවෙනකල් තව මනුස්සයෙක්ගේ ජීවිතය නාස්ති නොකර තනිවම ඉන්න ඉගෙන ගන්න.


ජීවත් වෙද්දී මහ ලොකු ධාර්මික මනුස්සයෙක් වෙන්න ඕනෙත් නැහැ. තමන්ට වෙනවට අකමැති කිසිම දෙයක් තව කෙනෙකුට නොකර ඉන්න.


බාලිකා හේවගේ

Psychology Practitioner & Author

BA (English), PgD in Counseling Psychology (Reading) - UOC

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...