Sunday, May 3, 2026

 (අසම්මත පෙමක පැටළුණු විවාහක කාන්තාවකගේ පාපොච්ඡාරණය...)


ගිම්හාණෙ කොයිතරම් නපුරුයිද

දැනෙන්න

සීතලක් එන්නෝන පපු මැද්දෙ

ඇණෙන්න

පඹයො ඉන්දලා තිබුණෙ සියොතුන්ට

පෙනෙන්න

උන් දන්නෙ සුළඟ එන අත බලන්

වැනෙන්න


පායද්දි, පායනව නම් අඩිය

හිඳෙන්න

වහින දා ඕනමයි ඉවුරු දෙක

බිඳෙණ්න

කළු ගලක් වුනත් පිළිමයක් ලෙස

හැදෙන්න

කටු මිටිය හසුරනවා දන්න උන්

රිදෙන්න


දැසි දස්ය, මැදුරු පායන් හැකියි

සොයන්න

හිත ඇතුල සැහැල්ලුව ඕන ඇස්

පියන්න

මේ පපුවෙ අඩියෙ උඹෙ නම කොටා

තියන්න

නුඹට බෑ තුඩ නොකැඩි පැන්සලෙන්

ලියන්න


නට නටා රත්වෙද්දි දිය, ගෙදර

බඳුණේ

නුඹ වරක් ඇහුවාද කිම මගෙන්

රිදුනේ

⁣මා අහන, මා බලන තැනක හිත

රැඳුණේ

නොවෙන්නට මම මියැදිලා ගිහින්

උඳුණේ


පුරව පුරවා ගෙවන ලොකු මුදල්

අයපත්

මොනව දන්නවද තාරුණ්‍යය ගැන

වියපත්

විලක මැද පිපී උන්නට හැඩට

සියපත්

"ඇගෙ හීන දන්නෙ...සමණල්ලු ඇති

පියපත්"


කවුද කියලා තිබුණා..පරදියි ලු

පමාව

බැරිම තැනදියි තිව්වෙ නුඹෙ නමට

කොමාව

නුඹට අයිතිය දුන්නු කථා පුවතේ

නිමාව

වැරදි මම නම් නොවෙයි, එපා මට

සමාව........


පපු කැනැති වල ඉරි ඇඳෙන්නම විඳවපු උන්ට...

ඇටමිදුළු යටටම බහින්න ආදරය දැනෙන්නයි ඕන.....❤️


By Chanaka Suranga Hewawasam 

All rights highly reserved.

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...