Tuesday, June 23, 2026

 ලංකාවේ ගොඩක් අය හිතන්නේ ආදරේ කරලා Breakup වුණාම විතරයි රිදෙන්නේ කියලා. ඒත් ඇත්තම කතාව, යාළුවෙක් වගේ ඉඳලා, ඊට වඩා ටිකක් කිට්ටු වෙලා, හැබැයි Boy friend හෝ Girl friend කියලා නමක් නැතුව ඇදගෙන යන මේ "Situationship" එකක් ඉවර වුණාම දැනෙන රිදීම ඊට වඩා දරුණුයි. ඒක හරියට පොතක් කියව කියව ඉන්නකොට කවුරු හරි මැද පිටු ටිකක් ඉරා දැම්මා වගේ වැඩක්. අපිට තේරෙන්නේ නෑ මොකක්ද වුණේ කියලා. හැමදේම අතරමඟ නැවතුණාම, ඒක ඇයි වුණේ කියලා හිත හිතා අපේ මොළය අපිටම වද දෙන්න පටන් ගන්නවා.


සාමාන්‍ය ලව් එකක් කැඩෙද්දී "අපි මේ මේ හේතු නිසා වෙන් වෙමු" කියලා වචනයක් හරි ඉතිරි වෙනවා. හැබැයි මේකේ එහෙම නෑ. එකපාරටම මැසේජ් සීන් නොකර ඉන්නවා, නැත්නම් බ්ලොක් කරනවා, එහෙමත් නැත්නම් අහක බලාගෙන යනවා. කිසිම හේතුවක් නැතුව මෙහෙම මඟහැරලා යද්දී, ඒක දරාගන්න හරිම අමාරුයි. අනිත් පැත්තෙන්, මේ වගේ බැඳීමකදී හැමදාම එක විදිහට ආදරේ ලැබෙන්නේ නෑ. දවසක් පුදුම විදිහට ආදරේ පෙන්නනවා, ඊළඟ දවස් තුනේම නෑ. මේ නිසා අපේ හිත හරියට සූදුවකට ඇබ්බැහි වුණා වගේ වෙනවා. කවදා හරි එයා මගේම වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නකොට එකපාරටම ඒක නැති වුණාම පිස්සු හැදෙනවා වගේ දැනෙන්නේ ඒකයි.


මේකේ තියෙන ලොකුම අසාධාරණය තමයි, අපිට කාටවත් කියලා අඬන්නවත් අයිතියක් නැති එක. කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එක්ක බ්‍රේකප් වුණොත් යාලුවන්ට කියලා අඬන්න පුළුවන්. හැබැයි මේකක් කැඩුණාම යාලුවෙකුට කිව්වොත් කියන්නේ "ඉතින් උඹලා යාළුවෙලා හිටියේ නෑනේ, ඕකට ඔච්චර මැරෙන්න හදන්න එපා" කියලා. අන්න ඒ වෙලාවට තමන්ගේ දුක සාධාරණ නෑ වගේ හිතිලා, මිනිස්සු ඒක හිත ඇතුළේම තද කරන් තනිවම විඳවනවා. ඒ විතරක් නෙවෙයි, අපි මෙතනදී ඇත්තටම අඬන්නේ අර පුද්ගලයා නැති වුණාට විතරක් නෙවෙයි; "එයා එක්ක මෙහෙම ලස්සනට ඉන්න තිබුණා" කියලා අපි හිතින් මවාගත්ත ලස්සන අනාගතය නැති වුණු එකටයි.


මේ හැමදේටම වඩා තමන්ගේ හිතට දැනෙන ලොකුම පහර තමයි, "මම එයාට පෙම්වතා හෝ පෙම්වතිය කරගන්න තරම් වටින්නේ නැතිද?" කියන සිතුවිල්ල. තමන්ගේ අඩුපාඩුවක් නිසාද එයා මට ආදරෙයි කියන්න මැලි වුණේ කියලා හිතන්න ගත්තම තමන් ගැනම තියෙන විශ්වාසය පල්ලමටම වැටෙනවා. "අපි දෙන්නා අතර එච්චර ලස්සන බැඳීමක් තිබුණා, ඒත් එයා මාව තෝරාගත්තේ නෑ" කියන පරස්පර අදහස් දෙක අස්සේ හිරවුණාම ඔලුව පිස්සු හැදෙනවා වගේ වෙනවා.


අන්තිමේදී වෙන්නේ, කිසිම රණ්ඩුවක්වත් නැතුව මෙච්චර ළඟින් හිටපු කෙනෙක් එකපාරටම අන්‍යයෙක් වුණාම, මිනිස්සු කෙරෙහි තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එකයි. මින්ස්සු හිතන්න පටන් ගන්නවා "මින්ස්සුන්ව විශ්වාස කරන්න බෑ" කියලා. ඊටපස්සේ ඇත්තටම තමන්ට ආදරේ කරන කෙනෙක් ආවත්, ලං කරගන්න බය වෙනවා. ඉතින්, කවුරු මොනවා කිව්වත්, සම්බන්ධතාවයට "නමක්" නැති වුණාට, හිතට දැනුණු ආදරේ වගේම ඒක කැඩුණාම දැනෙන රිදීමත් සියයට සියයක්ම ඇත්ත.


Hasitha A Pramoda

මනෝවිද්‍යාත්මක උපදේශක,

පෞරුෂ සහ චිත්තවේගීය සංවර්ධන විශේෂඥ,

Psychological Guidance ,

Therapist & Mental Health Advocate.


ඔබ වෙනුවෙන් ලියමී..✍️

#MotivationSinhala #SuccessMindset #NeverGiveUp #LifeLessons #SriLanka

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...