Tuesday, June 23, 2026

 "මෙම සටහනෙහි ප්‍රධාන අරමුණ සමාජයේ තරුණ තරුණියන් ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ට කර ගැනීමයි". බුදුවරුන්ගේ දර්ශනයට අනුව ලිංගික ඉන්ද්‍රියන් වලට වඩා මිනිසාගේ භවය නිර්මාණය වීමට උපකාරී වන ආධ්‍යාත්මික ආයතන ලෙස ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හඳුන්වයි. ප්‍රජනක පද්ධතිය ශරීරයට අයත් එක් ඉන්ද්‍රියක් පමණක් වන අතර එය අනෙකුත් පංච ඉන්ද්‍රියන් මෙන් ආධ්‍යාත්මික ස්වභාවයක්ද නොගනී.  බුදුවරු එය විශේෂ කොට සලකා නැත. එයට හේතුව ප්‍රජනක  පද්ධතිය හරහා සෘජුව "පටිච්චසමුප්පාදය සහ පංච උපාදානස්කන්ධය" නිර්මාණය නොවීමයි. බුදුවරුන්ගේ දර්ශනයට අනුව සරලව විමසා බලමු.


ලිංගිකත්වය තුළින් මිනිසාට දැඩි හානියක් වනවා නම් පංච ඉන්ද්‍රියන් වලට ප්‍රජනක පද්ධතිය බුදුවරු විසින් අනිවාර්යෙන්ම අන්තර්ගත කළ යුතුමය. බුදුවරුන්ගේ දර්ශනය යනු සියල්ලන්ටම සමබර ජීව විද්‍යාත්මක දර්ශනයකි. බුදුවරු Priority එකක් දී ඇත්තේ කාමයෙහි වරදවා හැසිරීම සහ අධර්ම රාගය පිළිබඳව පමණි. බුදුවරුන්ගේ දර්ශනයට අනුව වර්තමාන භවය නිර්මාණය වන්නේ පංච ඉන්ද්‍රියන් හරහාය. ශරීරයට ප්‍රජනක පද්ධතිය ඇතුලත් වන අතර ඒ පිළිබඳව විශේෂ කොට සලකා නැත. 


අපි හිතමුකෝ තරුණ කෙනෙක් මාරම කට්ටක් කාල බඹසර සිල් රකිනව. එය සාර්ථක නම් සාදු සාදු. නමුත් testosterone වැනි හෝර්මෝන් වල ප්‍රතිශතය වැඩි කෙනෙක් බඹසර සීලය ආරක්ෂා කිරීමට උත්සාහ කළහොත් එය අනවශ්‍ය පීඩනයක්. ඇතැම් විට සියල්ලන් සමග ඔහුට ද්වේශයක් ඇතිවෙන්න පුළුවන්. බුදුවරුන්ගේ දර්ශනයට අනුව රාගය යනු සත්වයා සෘජුව සතර අපාගත කරන අකුසලයක් නොවේ. කාමයෙහි වරදවා හැසිරීම, අධර්ම රාගය සහ අන්‍යයන්ට දැඩි පීඩා සහිතව හැසිරීම ඇරුණු කොට අනෙකුත් රාගික ක්‍රියා නිසා පුද්ගලයා සතර අපාගත නොවන බව බුදුවරු දේශනා කරනව. "රාගය අල්ප වූ අකුසලයක්" යනුවෙන් බුදුවරු දේශනා කරනව.


නමුත් ද්වේශය සහ මෝහය පිළිබඳව බුදුවරුන්ගේ දේශනාව බොහෝ වෙනස්ය. සත්වයා සෘජුව සතර අපාගත වීමට තරම් ප්‍රබල චෛතසිකයක් ලෙස ද්වේශය සහ මෝහය බුදුවරු විසින්  හඳුන්වනව. සියල්ලන්ගේම අවධානය ඇත්තේ ලිංගිකත්වය තුළ පමණි. බුදුවරුන්ගේ විග්‍රහයට අනුව ද්වේශය සහ මෝහය මහත් වූ අකුසල කර්මයකි. බඹසර සීලය නිසා කෙනෙක්ට ද්වේශය ඇතිවනවා නම් එය ප්‍රශ්නයක් නොවේද ? තර්ක නොකොට බුද්ධ වචනයට අනුව විමසා බලන්න. මිනිසා තුළ පටිච්චසමුප්පාදය නිර්මාණය වන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය හරහාය. ලිංගිකත්වය යනු ස්පර්ශ කාමයට අයත් සුළු කොටසකි. එය විවිධ ආගමික සංස්ථාවන්ට අවශ්‍ය ආකාරයට බලහත්කාරයෙන් පාලනය කළ යුතු දෙයක් නොවේ. 


තරුණ තරුණියන්ට අවශ්‍ය වන්නේ අනවශ්‍ය භීතියක් වෙනුවට ලිංගික අධ්‍යාපනය සහ ආරක්ෂාවයි. ලිංගිකත්වය පාලනය කරන විවිධ සීල වෘත හරහා මිනිසා කන කට්ට ඇස, කන, නාසය, දිව, යන ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීමට මොහොතක් හෝ වැය කලාද ? බුදුවරුන්ගේ දර්ශනයට අනුව රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන් පහළ වන්නේ පංච ඉන්ද්‍රියන් හරහාය. "රමණය" යනු කාය විඤ්ඤාණයට, ස්පර්ශ කාමයට අයත් එක් කොටසක් පමණි. ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ ලිංගික ඉන්ද්‍රියන් තුළින් සෘජුව පංච උපාදානස්කන්ධය හෝ පටිච්චසමුප්පාදය පහළ වන බව බුදුවරුන් කොතැනකවත් දේශනා කොට නැත.


රමණයේදී කාය විඤ්ඤාණය හරහා සිත් උපදින බව සත්‍යයකි. රමණය හෝ වෙනත් දෙයක් මිනිසා විසින් ක්‍රියාවට නගන්නේ දිනකට කිහිප වතාවක් පමණි. නමුත් ඇස, කන, නාසය, දිව හරහා ගන්නා අරමුණු වලින් භවය නිර්මාණය වන්නේ අධික වේගයකිනි. ව්‍යාපාර ලෝකය පවා නිර්මාණය වී ඇත්තේ පංච කාමයට ගැලපෙන පරිදිය. ලිංගිකත්වයට අවධානය යොමු වී ඇති නිසා මිනිසාට අනෙකුත් ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් පිළිබඳව හැඟීමක් නැත. ශරීරයට දැනෙන සීත, උෂ්ණ, කායික වේදනා, කායික සැප සේම රමණය යනු ද එක්තරා කුඩා කොටසකි. 


ලිංගිකත්වයේදී මිනිසාට අවශ්‍ය වන්නේ ශිෂ්ටත්වය සහ ආරක්ෂාවයි. එසේත් නැතහොත් කිනම් හෝ පුද්ගලයකුට අවශ්‍ය ආකාරයට බලහත්කාර මානසික පීඩනයක් සහිත පාලනයක් නොවේ. බුදුවරුන්ගේ විද්‍යාත්මක දර්ශනය යනු මිනිසාගේ ජෛව විවිධත්වයට සහ මනෝ විද්‍යාවට අදාල ඉන්ද්‍රිය පද්ධතිය හා සෘජුව සම්බන්ධ දහමකි. එය ඕනෑම සමාජ මට්ටමකට ගැලපේ. ගෝත්‍රික දර්ශනයක් නොවේ. බුදුවරුන් විසින් මිනිසාගේ සොඳුරු හැඟීම් බලහත්කාරයෙන් මරා දැමීම සිදුකර නැත. ස්වයං ශික්ෂණය යනු මිනිසාට ආධ්‍යාත්මික අවබෝධය සමඟ නිරායාසයෙන් ඇති වන තත්වයකි. කවදා හෝ දැනී තිබේද අවශ්‍ය දෙයක් අනවශ්‍ය ආකාරයට පාලනය කිරීම නිසා පාලනය කිරීමට අත්‍යවශ්‍යම දේ මිනිසාට මගහැරී ඇති බව.  ස්වයං ශික්‍ෂණය සහ නිර්වාණය යනු බලහත්කාරයෙන් අවබෝධ කර ගත හැකි ස්වභාවයක් නොවේ.


අධික ලිංගික හැඟීම් හෝ වෙනත් තත්ත්වයක් පාලනය කර ගැනීමට අවශ්‍ය වන්නේ ධර්මය තුළින් එය filter කර බැලීමයි. එයට ධර්ම කරුණු දැනගත යුතුය. එය කළ හැක්කේ අවබෝධයෙන් පමණි. බුදුන් වහන්සේගේ දර්ශනයට අනුව මෙසේ විමසා බලමු.


අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ආරම්භක සූත්‍ර කිහිපයක බුදුන් වහන්සේ ස්ත්‍රිය හා පුරුෂයා අතර ඇති බලවත් මානසික බැඳීම පිළිබඳ ඉතා සංක්ෂිප්ත නමුත් ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරයි. බුදුන් වහන්සේ මෙසේ වදාළහ.


"න භික්ඛවේ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති යථයිදං භික්ඛවේ ඉත්ථිරූපං."


"මහණෙනි, පුරුෂයෙකුගේ සිත මෙතරම් ග්‍රහණය කරගෙන, අල්ලාගෙන, වසඟ කරගෙන පවතින වෙනත් කිසිදු රූපයක් මම නොදකිමි. එනම් ස්ත්‍රියකගේ රූපයයි." ඉන්පසු බුදුන් වහන්සේ එම කරුණම ස්ත්‍රියකගේ ශබ්දය, ස්ත්‍රියකගේ ගන්ධය, ස්ත්‍රියකගේ රසය, ස්ත්‍රියකගේ ස්පර්ශය. පිළිබඳවත් දේශනා කරයි. ඉන් පසු එහි ප්‍රතිවිරුද්ධ පැත්තද දක්වයි. "ස්ත්‍රියකගේ සිත පුරුෂයෙකුගේ රූපය තරම් අන් කිසිවකින් වසඟ නොවේ." යනුවෙන් පුරුෂ රූපය, ශබ්දය, ගන්ධය, රසය සහ ස්පර්ශය පිළිබඳවද එලෙසම දේශනා කරති.


"චිත්තං පරියාදාය තිට්ඨති" යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ? අට්ඨකථාවේ එය විස්තර කරයි. සිත අල්ලා ගනී, සිත යටත් කර ගනී, සිත තමන් වෙත ඇද ගනී, විචාර ශක්තිය දුර්වල කරයි, යන අර්ථයෙනි. එනම් රාගය උපන් විට පුද්ගලයාගේ සිත නැවත නැවතත් එම අරමුණ වෙත දිව යයි.


මෙම දේශනාවේ අරමුණ ස්ත්‍රීන් හෝ පුරුෂයන් වරදවා දැක්වීම නොවේ. බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ, කාමරාගය ඇතිවන්නේ කෙසේද ? සිත බැඳෙන්නේ කෙසේද ? සංසාරය දිගු වන්නේ කෙසේද ? යන්නයි. ලෝකයේ බොහෝ බැඳීම්, විවාහ, පවුල් ජීවිත, ප්‍රේම සම්බන්ධතා සහ ඒවා නිසා ඇතිවන සතුටත් දුකත් පදනම් වී ඇත්තේ මෙම රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ යන කාම අරමුණු මත බව බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා දෙයි.


පුරුෂයාට ස්ත්‍රිය ප්‍රබල කාමාරම්මණයකි. ස්ත්‍රියට පුරුෂයා ප්‍රබල කාමාරම්මණයකි. මෙම ආකර්ෂණය ජීව විද්‍යාත්මක පමණක් නොව මානසික හා කර්මානුරූප සංසාරික බැඳීමක් ද වේ. කාමරාගය ප්‍රහීණ නොකළ තාක් දුරට සිත එම අරමුණු මගින් නැවත නැවතත් ආකර්ෂණය වෙයි. ඒ නිසාම බුදුන් වහන්සේ වෙනත් සූත්‍රවල කාමයන් පිළිබඳ දේශනා කරයි.


"කාමය යනු බාහිර වස්තූන් නොව, ඒවා කෙරෙහි ඇති රාගසංඥාව සහ තෘෂ්ණාවයි." මෙම ඒකක නිපාත සූත්‍ර මගින් බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ, ලෝකයේ ස්ත්‍රිය හා පුරුෂයා අතර ඇති අධික බැඳීමේ මූලය වන්නේ පංචකාම ගුණයන් කෙරෙහි ඇති රාගය බවයි. එය සාමාන්‍ය පුද්ගලයාගේ සිත "පරියාදාය තිට්ඨති"  සම්පූර්ණයෙන් ග්‍රහණය කරගෙන පවතින බලවත් මානසික ශක්තියක් ලෙස දේශනා කර ඇත. දැනුවත් භාවය සහ ධර්ම දානයක් පිණිස බෙදා හරින්න.


#අංගුත්තරනිකායඒකකනිපාතයඅට්ඨකථාධර්මදානයක්මවේවා

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...