මානසික ආතතිය දුරු කරයි
සිරුරේ ඇති ආතතිය වැඩි කරන කෝටිසෝල් හෝමෝනය පහත හෙලන්නට භාවනාව සමත් වෙනවා. මානසික වගේම කායික ආතතිය දුරු කරන්න භාවනා කිරීමේ පුරුද්දට පුළුවන්. දිගුකාලීන මානසික ආතතිය නිසා ඇතිවිය හැකි නින්ද නොයාමේ ගැටලුව, විශාදය ඇතිවීම, රුධිර පීඩනය ඉහළ යාම, කායික සහ මානසික විඩාවක් දැනීම, මතක ශක්තිය දුර්වල වීම වැනි ගැටලු ඇතිවීම වැළකෙනවා. මානසික ආතතිය වර්ධනය වීමෙන් පසු කාලීනව ඇතිවිය හැකි මානසික රෝග, පෞරුෂ අක්‍රමතා ආදිය වළක්වාගන්න භාවනාවෙන් උපකාර ලැබෙනවා. භාවනා කිරීමෙන් සමාජ භීතිකාව, කාංසාව, ව්‍යාකූල සිතුවිලි හට ගැනීම, උමතු හැසිරීම් වැනි රෝග ලක්ෂණ පාලනය කෙරේ. පීඩනය අධික ව්‍යාපාරික ස්ථාන තුළ සිය සේවකයන්ට භාවනාව අනිවාර්ය අංගයක් කොට තිබේ.
මතක ශක්තිය වර්ධනය වීම
අධ්‍යාපනය ලබන වයසේ දරුවන්ට සිය මතක ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා භාවනාව කියන්නේ හොඳ ක්‍රමයක්. ඒ වගේම වයස්ගත වීමත් සමඟ ඇතිවන මතක ශක්තිය දුර්වල වීමේ ගැටලුව පාලනය කරගන්නත් භාවනාව උදව් වෙනවා. අවධානය යොමු කිරීමේ හැකියාව සහ චින්තන ශක්තියේ ධනාත්මක බව වර්ධනය වීම වැනි ප්‍රතිඵල භාවනාවෙන් හිමිවෙනවා. ඩිමෙන්ෂියාව කියන මතකය නැති වී යන රෝගය අඩකින් පාලනය කරන්නට භාවනාව සමත් වෙනවා. ඒ වගේම රෝගීන් බලා ගන්න පවුලේ සාමාජිකයන්ට ද සිය මානසික ආතතිය දුරු කර ගැනීමට භාවනාව උපකාරී වෙනවා.
ඇබ්බැහිවීම් පාලනය කර ගැනීමේ හැකියාව
භාවනා කිරීම තුලින් පුද්ගලයකුගේ මානසික විනය, ආත්ම දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා. ඒ හරහා විවිධ ඇබ්බැහිවීම් පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. මත්පැන් පානය කිරීමේ කැමැත්ත, දුම්පානය කිරීමේ කැමැත්ත, අධික ලෙස ආහාරයට ඇතිවූ ගිජුකම, සිතෙහි ඇතිවන තෘෂ්ණාව වැනි හැඟීම් පලනය කර ගැනීමට භාවනා කරන්නෙකුට පහසුය. භාවනා කිරීම තුළින් මිනිසාගේ අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වීම නිසා සිය හැඟීම් සහ ආවේගයන් පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
සුවදායි නින්දක් ලබා ගැනීමේ හැකියාව
වර්තමානයේ බහුතරයක් දෙනා නින්ද නොයාමේ ගැටලුවෙන් පීඩා විඳිනවා. එවැනි අයකු භාවනාවට හුරු වීමෙන් සිය සිරුර ලිහිල් වීමත්, ආතතිය දුරු වීමත් නිසා සාමකාමී නින්දක් ලබා ගැනීමට උපකාරී වෙනවා. භාවනා කරන්නාගේ සිත සන්සුන් වීමෙන් ඔහුට සුවදායි නින්දක් ලබා ගැනීමේ හැකියාව අත්වෙනවා.
සිරුරට දැනෙන වේදනාව අඩු වීම
භාවනා කරන්නාගේ මොලේ රසායනිකයන් සහ මානසික හැකියාව සංවර්ධනය වෙනවා. එකම ස්වරූපයේ වේදනාවක් භාවනා කරන්නේකුට සහ භාවනා නොකරන්නෙකුට ලබාදුන් විට භාවනා කරන්නාගේ මනස එය නිසියාකාරව පාලනය කර ගන්නවා. භාවනා කරන්නෙකු කායික වේදනාව පිළිබඳව දක්වන සංවේදීතාවය අඩු බව සනාථ වී තිබෙනවා. රෝගීන්ට භාවනා කිරීමට හුරු කිරීමෙන් ඔවුන්ගේ වරින් වර ඇති වූ වේදනාව පිළිබඳ පැමිණිලි අඩු වන බව සොයාගෙන තිබෙනවා. මාරාන්තික රෝග වැළඳුන රෝගීන්ට භාවනා කිරීම හුරු කිරීමෙන් ඔවුන්ගේ ජීවිතයේ අවසාන භාගයේ ඇති වන වේදනාව අවම වන බව පැවසෙනවා. කෙටියෙන් පැවසුවොත් භාවනා කරන්නන් සිය සිරුරට දැනෙන වේදනාව සමඟ සාර්ථකව ගනුදෙනු කිරීමට සමත් වෙනවා.
හදිසි අවස්ථාවලදී සන්සුන් වීමේ හැකියාව
යම්කිසි පුද්ගලයකු භාවනා කිරීමට හුරුවී සිටින්නේ නම් ඔහුට නොසිතූ මොහොතක ඇතිවිය හැකි කරදර හමුවේ සිය සිත පාලනය කරගෙන ඒවාට සාර්ථකව විසඳුම් සොයාගැනීමට හැකියාව ලැබෙනවා. සෙසු පුද්ගලයන් කරදර අබියසදී කලබලයට පත්වී දෑසට හොඳින්ම පෙනෙන විසඳුම් පවා අහිමි කරගන්නා මොහොතවල් වලදී භාවනා කරන්නෙකු සංසුන්ව සිය ගැටලුවලට විසඳුම් සොයා ගනු ලබනවා. ඒ නිසා ඕනෑම ගැටලුකාරී අවස්ථාවකට සාර්ථකව මුහුණ දෙන්නට මේ අය සමත් වෙනවා.
අධි රුධිර පීඩනය අවම වීම
භාවනාව නිසා හදවතේ ඇතිවන පීඩනය අඩු වෙනවා. සාමාන්‍යයෙන් අධි රුධිර පීඩනය ඇති වන්නේ කාලයත් සමග රුධිරය පොම්ප කිරීම සඳහා හදවත දැරූ වෙහෙස නිසායි. පසුකාලීනව හදවත දුර්වල වීමට එය හේතු වෙනවා. අධි රුධිර පීඩනයේ දී සිදුවන ධමනි සිහින් වීම හෘදයාබාධ සහ අංශභාගය වැනි රෝග ඇති කරවනවා. නමුත් භාවනා කිරීමට හුරු වීමෙන් රුධිර පීඩනය අඩුකර ගැනීමේ හැකියාව ලැබෙනවා.

No comments:
Post a Comment