Wednesday, April 22, 2020

බිරිඳත් සමඟ දේශනයට

මනුස්සයෙක් තමන්ගෙ බිරිදත් එක්ක රටේ නම ගිය දේශකයෙක්ගෙ දේශනයක් අහන්න ගියා. දේශනය ජීවිතය සැලසුම් කිරීම සම්බන්ධව. ටිකක් පරක්කු වෙලා කඩිමුඩියෙ දේශන ශාලාවට ගිය නිසා මිනිහට ෆෝන් එක සයිලන්ට් කරන්න අමතක උනා.

සාමාන්‍යයෙන් අපි හැමෝටම සිද්ධ වෙලා තියන අකරතැබ්බය මිනිහටත් වුනා. දේශනයේ හොදම උච්චතම වෙලාවේ ප්‍රේක්ෂකාගාරය පුදුම සාවධානව දේශනයට වශී වෙලා ඉන්න වෙලාවෙ මිනිහගෙ ෆෝන් එක රින්ග් උනා. ඔය වෙලාවට ෆෝන් එක තියන සාක්කුව අමතක වෙනවා. සාක්කුවට අත දාගන්න බැරි වෙනවා. කොටින්ම සයිලන්ට් කරන කී එක පවා හොයාගන්න බැරි වෙනවානෙ. මිනිහටත් ඒකම වුනා.
මිනිහා කලේ ෆෝන් එකේ බැට්‍රියම ගලවල දාන එක. බෝම්බයක් නිශ්ක්‍රීය කලා වගේ සැහැල්ලුවකින් මිනිහා වට පිට බැලුවා. එහා පැත්තෙ ඉන්න ප්‍රිය බිරිද තරහින් මූන රතු කරගෙන දත්මිටි කනවා. මුලු ප්‍රේක්ෂකාගාරයම මිනිහා දිහා බලාගෙන. හොදම දේ දේශකයා කතාව නතර කරල කන්න වගේ බලන් ඉන්නවා. මිනිහට දැනුනෙ ලැජ්ජාවෙන් මිරිකිලා පොලව යටට කිදා බහිනවා වගේ.

එතනින් පස්සෙ දේශනාවෙ මාතෘකාව වුනේ ජීවිතය සැලසුම් කිරීම නෙවෙයි. ජංගම දුරකතනයෙන් සිදුවන හානිය සහ මිනිහෙකුගේ තිබිය යුතු සාමාන්‍ය මූලික විනය. අපේ මනුස්සය ජීවිතේ අවලස්සනම කාලකන්නිම හෝරාව එදා ගතකලා. දේශනය ඉවර වුනා. වටේ මිනිස්සු කට කොනින් හිනා වෙමින් මිනිහා දිහා බල බල යනවා. සමහරු එතන නොහිටපු සිද්ධිය නොදැක්ක අයට මිනිහව පෙන්නනවා. දේශකයත් තවත් වැඩේ අත ඇරල නෑ. ලගට එන අයට මිනිහව පෙන්නමින් ඔවදන් දෙනවා. මිනිහා බිම බලාගෙන ඇවිත් කාර් එකට නැග්ගා. බිරිද ගෙදරට එනකල්ම දේශනයේ ඉතුරු ටික කන්ටිනිව් කලා. තව දුරටත් කිසිම තැනකට මිනිහ එක්ක යන්නෙ නැති බවට දිවුරමින් ආඩපාලි කිව්වා. වෙච්ච ලැජ්ජාව කිය කියා බැන්නා. පුලුවන් ඉක්මනින් මිනිහා ගෙදරට ආවා. බිරිද කාමරේට ගිහින් දොර වහගත්තා. අද කෑමත් නෑ.

මුලු ජීවිතේම කඩා වැටිල පුදුම පරාජිත හැගීමක් එක්ක මිනිහට තවත් ඉන්න බැරි වුනා. මිනිහා වාහනේට නැගල හිමින් හිමින් හවසට යාලු මිත්‍රයො හම්බවෙන තානායම පැත්තට ගියා. සිද්දිය මුල සිට අගට මතක් වෙනවා. අය අග සිට මුලට යනවා. ඔලුව විකාර වෙනවා.

අවසානෙ මිනිහා දැඩි තීරණයක් ගත්තා. අයනම් කවදාවත් කිසිම දේශනයක්, නාට්‍ය ක්, ඔපෙරාවක් තියා ලමයෙකුගෙ කොන්සට් එකක් වත් බලන්න යන්නෙ නෑ නෑමයි.

මිනිහා තමන්ගෙ සුපුරුදු බාර් ස්ටූල් එකේ ඉදගත්තා. "සර්, අද ටිකක් අසනීපෙන් වගේ. මොකද්ද ප්‍රශ්නෙ" වේටර් මල්ලි අහනවා.
"නෑ අයිසෙ. එහෙම එකක් නෑ."
"ඒ උනාට සර්ගෙ වෙනද මූඩ් එක අද නෑ. වෙනද බ්‍රෑන්ඩ් එකෙන්ම සීයක් දාන්නම් සර්."
"ඔව්. එහෙම දානවා."
"සර්ට අසනීපයි වගේ නම් බ්‍රැන්ඩි ටිකක් උණු වතුර එක්ක ගමුද..?"
"නෑ. ඕන නෑ."
"සර්ට මොනවම හරි ඕන නම් කතා කරන්න සර්. මොනවා උනත් හෙටත් අලුත් දවසක්නෙ සර්"
වේටර්ගෙ කතාවටයි සැලකිල්ලටයි මිනිහගෙ ඔලුව බර ගතිය ටිකක් අඩුවුනා.

මිනිහා ග්ලාස් එක උස්සල ස්ලිප් කරන්න යද්දිම අත ලිස්සල ගියා. ග්ලාස් එකත් කුඩු වෙලා වටේ ඉන්න අයගෙ ඇදුම් වලත් එක්ක විස්කි හැලිලා ගියා. අද නම් මහ කරුම දවසක්. වේටර් දුවගෙන ආවා.
"අයියෝ සර්. හරි හරි ඒව සේරම හරි. සර්ට ප්‍රශ්නයක් නෑනෙ. මම මේ ටික ඉක්මනට අස් කරන්නම්. සර් මේ ටවල් එකෙන් ඇදුමයි අතයි පිහදාගන්න"
තානායමේ කලමනාකරුටත් මේක ඇහිලා ඔහුත් දුවගෙන ආවා.
" සර්, කිසි ප්‍රශ්නයක් නෑ. ඕව ඔහොම තමයි. ඔතන අපේ අය අස් කරයි. සර් මෙන්න මෙතනට එන්න. මෙතන හොද හුලගකුත් එනවා. මම ජනේලෙ අරින්නම්. මල්ලී, අපේ සර්ට අලුත් ෂොට් එකක් දාන්න. අලුත් බයිට් ප්ලේට් එකකුත් ගේන්න. හරි නේද සර්."
විස්කි නාගෙන ඉන්න වටේ හිටපු අය දිහා මිනිහා බැලුවා.
" අනේ සොරි. මගෙ අත පොඩ්ඩක් ලිස්සුවා."
"පිස්සුද මිස්ටර් ඕව මොනවද..? නෑව්වත් විස්කි වලින්නෙ."
ලොකු හිනා හඩක් මුලු තැබෑරුම පුරාම විසිරිලා ගියා.
"හැලුන ෂොට් එක මතක් කරල චියර්ස්"
එහා කොනේ ටේබල් එකකින් ඇහුනා.
එහෙනම් චියර්ස්.
මිනිහා එදා දවසෙ තවත් තීරණයක් ගත්තා.

හැමදාම හවසට මෙතනට එන්න ඕන...

-උපුටා ගැනීමකී-

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...